2021 ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ දී සිදු වු අඩුපාඩු සහ වරද හේතුවෙන් අලුත් ඡන්දදායකයින් විශාල පිරිසකට ඉදිරි ඡන්ද විමසීමක දී ඡන්ද බලය අහිමි වීමේ අවදානමක් පවතින බව හිටපු ආණ්ඩුකාර සහ ස්වාධීන මැතිවරණ කටයුතු විශ්ලේෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
වසර 55 කට වැඩි කලක් අඛණ්ඩව හා සාර්ථකව ගෙන් ගෙට ගොස් සිදු කළ ඡන්දහිමියන් ලියාපදිංචි කිරිම වෙනුවට නාමික ඔන්ලයින් ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම මෙයට හේතු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 2021 ඡන්ද ලේඛනය සකස් කර ඇත්තේ මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමයට වන අතර මේ වසරේ ද (2022) නිවසින් නිවසට ගොස් ඡන්දය ගණන් ගැනීමක් මේ දක්වා සිදු වී නොමැති බැවින් මෙවර ද දස දහස් ගණනකට ඡන්ද අයිතිය අහිමිවීමේ අවදානමක් ඇති බවයි.
නිවසින් නිවසට ගොස් ඡන්ද නාම ලේඛන සැකසීම වෙනුවෙන් ග්‍රාම නිලධාරිවරුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසම හා ග්‍රාම නිලධාරී සමිති අතර ගැටුමක් මතුවී ඇත. එම හේතුවෙන් 2022 වසරේ ඡන්ද හිමි නාම ලේඛන සැකසීමේ දී ද, මාර්ග ගත (ඔන් ලයින්) ක්‍රමයට ඡන්ද නාම ලේඛන සැකසීම සිදු වේ.
2021 ඡන්ද නාම ලේඛනයේ ඡන්දදායකයින් ගේ වැඩිවීම ඇදහිය නොහැකි පහත අගයක් දරයි. ඒ අනුව, 2021 ඡන්ද නාම ලේඛනය ලංකා ඉතිහාසයේ අසාර්ථකම සහ වැඩිම දෝෂ සහිත ලැයිස්තුවක් බවට පත්ව ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් වසරට නව ඡන්දදායකයින් 8000 ක් පමණ ලියාපදිංචි කෙරේ. නමුත් 2021 දී ඡන්ද හිමි නාමලේඛනයේ වැඩිවීම ඡන්ද 4,968 ක් පමණී.
පුත්තලම වසරකට ඡන්ද 14,500 ක් පමණ වැඩිවේ. 2021 දී වැඩි වී ඇත්තේ ඡන්ද 8,369 කි.
පෙර වසර වල ඡන්ද 6000 ක් පමණ වැඩි වූ හම්බන්තොට මෙවර වැඩිවීම ඡන්ද 3,598 කි.
පෙර වසරවල ඡන්ද 10,000 ක් පමණ වැඩි වූ ගාල්ලේ මෙවර වැඩිවීම ඡන්ද 3601 කි.
පෙර වසරවල ඡන්ද 5,500 බැගින් වැඩිවූ මාතලේ මෙවර වැඩිවීම ඡන්ද 3,153 කි.
පෙර වසරවල ඡන්ද 5,500 බැගින් වැඩි වූ මොණරාගල මෙවර වැඩිවීම ඡන්ද 3,564 කි.
ඡන්ද හිමි නාම ලේඛන සැකසීම, ග්‍රාම නිලධාරිවරුන්ගේ රාජකාරි ලැයිස්තුවේ කොටසකි. ඒ සඳහා පහසුකම් හා දීමනා සැපයීම මැතිවරණ කොමිසමේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමකි. ග්‍රාම නිලධාරි දීමනා ගෙවීමට නොහැකි බව පවසමින් ඡන්ද ලියාපදිංචිය අඩාල කිරීම තුලින් තරුණයින්ගේ ඡන්ද අයිතිය උදුරා ගනු ලබන්නේය. ග්‍රාම නිලධාරිවරුන් හා මැතිවරණ කොමිසම අතර මතුව ඇති ආරවුල නිරාකරණය කර ‘සුදුසුකම් සහිත සෑම ඡන්ද හිමියෙකුම ලියාපදිංචි කිරීමට‘‘ රජය වහා පියවර ගත යුතුව ඇත.
2021 ඡන්ද ලේඛනයේ නම ඇති දැයි පහත දිගුවෙන් පරීක්ෂා කළ බැලිය හැකිය.
https://eservices.elections.gov.lk/pages/es_ct_MakeQuery.aspx
