දැන් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් වෙනම දේශපාලනයේ නිරත වන සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයට ගෙනාවේ තමා බව අද පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
තමා මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා පාක්ෂිකයින්ගේ අනුමැතිය ලබා ගැනීමට සංවිධානය කර තිබුණු මෙම රැළිය අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ජනාධිපතිකම බාර ගන්න කියූ වෙලාවේ කිසිවෙකු ඒ සදහා ඉදිරිපත් නොවූ අතර තමා ඉදිරිපත් වූ විටද සජිත් ඇතුළු පිළ සහයෝගය දැක්වූයේ ඩලස් අලහප්පෙරුමට බවයි. නමුත් නියම එක්සත් ජාතික පාක්ෂිකයින් එසේ නොවන බවත් ඔහු කියා සිටියේය.
තම එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන නායකයින් ඉගැන්වූ මග ගමන් කරන බවත් සෑම විටම රට ගැන සිතා තීරණ ගැනීම එම ගමන් මග බවත් ඔහු කියා සිටියේය. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේදීත් ඊට එරෙහිව ඉදිරි පෙළ සටන් කළේ ඔහු බවත් එතුමාගේ අභාවයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂයට ගෙන ආවේ තමා බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසුවේය.
එනිසා තමා තවදුරටත් රට ගැන සිතා තීරණ ගන්නා අතර සජිත් සමග එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස ඉතිහාසය නොදන්නා බවත් ඔහු කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ මෙම තොරතුරු කටින් කට ගමින් ගමට ප්‍රචාරය කර ඉදිරි ජනාධිපතිවරණයේදී තමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වෙන ලෙසයි.