බාල ඖෂධවලින් මියයමින් හිදින අපි..

by admindasun
0 comment 63 views

ඖෂධවල ප්‍රමිතිය ප්‍රශ්න කරමින් සිදුවන මරණ වැලක තවත් එක් මරණයක් ඊයේ පේරාදෙණිය රෝහලේ දී සිදුවිය. මෙම මරණය සම්බන්ධයෙන් හෙද කාර්ය මණ්ඩලයට ඇඟිලි දිගු වෙමින් තිබේ. එබැවින් වගකිවයුතු වෘත්තිය සමිතියක් ලෙස සිදුවූ සිදුවීම අපි පැහැදිලි කළ යුතු වෙමු.

මෙම විසි එක් හැවිරිදි 21 හැවිරිදි තරුණිය උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ඒ වෙනුවෙන් කරන ලද රෝග විනිශ්චය පරීක්ෂණවලදී සිදුවූ අනාවරණයන් අනුව ලබා දිය යුතු ඖෂධ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව ceftrixone නම් ප්‍රතිජීවක ඖෂධය ඇයට ලබා දිය යුතු විය. හෙද කාර්‍යය මණ්ඩලය විසින් එම නිවැරදි ඖෂධය, නිවැරදි මාර්ගයෙන්, නිවැරැදි වේලාවට, ශරීර ගත කරන ලදුව, පැමිණි අසාත්මිකතාවය හේතුවෙන් ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වන ලදී. එහිදී ජීවිතාරක්ෂක ඖෂධ සහ අනෙකුත් ක්‍රියාමාර්ග කිසිදු අඩුවක් නොමැතිව හෙද සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ගන්නා ලදී. නමුත් එහිදී ලබාදුන් ඖෂධ පවා නියමාකාරයෙන් ක්‍රියාත්මක වූවාද යන්න සැක සහිතය. ඉතාමත් අවාසනාවන්ත ලෙස එම තරුණිය මිය ගියාය.

එම මරණයට හේතුව හෙද කාර්ය මණ්ඩලය මගින් ඖෂධ දෙකක් ශරීර ශරීරගත කිරීම නිසා සිදු වූ බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතී. සැබවින්ම එම ඖෂධය මිලි ලීටර් 10ක දියකර මිලි ලීටර් 10ක  සිරින්ජයකින් ලබා දුන්නේ නම් එක් වරකදී පමණක් ශරීරගත කළ හැකිය. නමුත් දිවයින පුරා  10ml සිරිංජයන් බරපතළ අඩුවක් පවතී. එබැවින් පේරාදෙණිය  රෝහලේදී මිලි ලීටර 5ක් සිරින්ජයක් මගින් ඖෂධය දෙවතාවක් ලබා දෙන ලදී. බරපතල හෙද හිඟයක් තිබියදී අධික වැඩ පීඩනයක් තිබියදී අවශ්‍ය නම් මිලි ලීටර් 5ක දිය කර ලබාදිය හැකිව තිබියදී හෙද කාර්‍යය මණ්ඩලය තම කටයුත්ත ඉතාමත්ම නිවැරදිව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කර තිබේ.

නමුත් මෙම බාල ඖෂධ දිගින් දිගටම ගෙන එමින් සිදුකරන කරන මරණ සම්බන්ධව ආණ්ඩුව තම වගකීම හා යුතුකම ඉෂ්ට සිද්ධ කර තිබේද? මෙය මේ හා සම්බන්ධ පළමු මරණය නොවේ. මීට පෙර ප්‍රමිතියෙන් බාල  නිර්වින්දන ඖෂධ ශරීරගත වීම නිසාද යන සැකය සහිතව  පේරාදෙණිය රෝහලේදීම මරණ දෙකක් සිදුවිය. ජූනි මස 28 වැනි දින රාගම රෝහලේ දී augmentin ඖෂධයේ අසාත්මිකතාවයට ලක්වීමෙන්ද යන සැකය සහිතව වයස අවුරුදු 21 ක එක්දරු මවක් මිය ගියාය. කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල ආදී රෝහල්වල පසුගියදා ඖෂධ සම්බන්ධව සැක සහිත මරණ ගණනාවක් සිදු විය. එමෙන්ම ඇස්වලට දමන ලද ඖෂධ හේතුවෙන් රටේ ජනතාවගේ ඇස් විශාල ප්‍රමාණයක් අන්ධභාවයට පත්විය. මේ සියල්ල මෙසේ තිබියදී ආණ්ඩුව ගත් පියවරයන් මොනවාද? මේ ඖෂධ ගෙන්වන ලද සමාගම් කෙරෙහි දක්වන ලද ප්‍රතිචාර මොනවාද? ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරය කෙබඳුද? එහි අකර්මන්‍යතාවය මෙම මරණවලට හේතුවක් වීද? මෙම ඖෂධ සමාගම්වලින් කොමිස් ලබාගෙන ඇතිද? තවදුරටත් එවැනි සිදුවීම් සිදු වෙනවාද? මේ සියල්ල රට හමුවේ තිබෙන ගැටලු ය.

මෙවන් ඛේදනීය සිද්ධි එක දිගට මනුෂ්‍ය සමාජයක් සහිත, මනුෂ්‍ය පාලකයන් සිටින රටක සිදු වූවානම් දැන් ඒ ආණ්ඩු හා මැති ඇමතිවරු ඉල්ලා අස්ව්නු ඇත. නමුත් ශ්‍රී ලංකාවේදී ජනතාවගේ මරණ පාලකයින්ගේ හා බලධාරීන්ගේ සාක්කු පිරවෙන ප්‍රමාණයට සාපේක්ෂව බලු නොවටිනා ගානට පත් වී ඇත.

අනෙක් පසින් බරපතළ හෙද හිඟයක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව පවසන ආකාරයට හෙද හෙදියන් 41954ක් රටට අවශ්‍ය ය. නමුත් සිටින ගණන සම්බන්ධ නිශ්චිතවම කිව නොහැකි වුවත් 40197ක් බව කියැවේ. නමුත් සමස්ත ලංකා හෙද සංගමය දකින ආකාරයට, ලෝක ජනගහනයට සාපේක්ෂව සිටිය යුතු අවම හෙද නිලධාරීන් ගණනය කරන ක්‍රමවේදය අනුව 88000ක හෙද ප්‍රමාණයක් අවශ්‍ය ය. මේසා විශාල හෙද අවශ්‍යතාවක් තිබියදී  මූලික වැටුප රුපියල් 32525/= කට හතර දෙනෙකුගේ වැඩ ආවරණය කරමින්, ඉතාමත්ම වැඩ පීඩනයකට යටත්ව ලබා දෙන ප්‍රශස්ත සේවාව අගයනු වෙනුවට මෙවැනි සිද්ධීන් හරහා ඔවුන් ප්‍රශ්න කිරීම විමර්ශනය කිරීම හා අපවාදයට ලක් කිරීම සැබවින්ම  කනගාටුදායකය. ලෝකෙ අද ඉහළම අවශ්‍යතාවයක් සහිත වෘත්තීන් අතර හෙද සේවාව තිබෙන තත්වයක් තුළ ඉතාමත් වේගයෙන් රට හැර යෑමට හෙද හෙදියන් පෙළඹෙන්නේ මෙම තත්වයන් නිසාවෙනි. අවම වශයෙන් මැද පෙරදිග රටකට ගියද මසකට රුපියල් ලක්ෂ 13ක පමණ වැටුපකට හිමිකම් කියන්නට හෙද නිලධාරීන්ට හැකිය. යුරෝපා රටවල මෙය ඉතාමත් ඉහළ අගයක් ගනී.

අප මීට පෙර රටේ ජනතාවට හඬගා කීවේ මේ සෞඛ්‍ය පද්ධතිය ඉතාම වේගයෙන් කඩා වැටෙන බවය. ඖෂධ උපකරණ සහ රෝග විනිස පරීක්ෂණ හිඟය භෞතික සම්පත් හිඟය හා මානව සම්පත් හිඟය, මෙම තත්ත්වය ප්‍රබල ව බලපාමින් තිබේ. මේවා නිවැරදි නොකරන්නේනම් ඊයේ පේරාදෙනිය දී සිදුවූ මරණ මෙන් මරණ විශාල ප්‍රමාණයක් හෙට දිනයේ ද සිදුවනු ඇත.

කැකිල්ල රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව සේ එකී මරණවලටද ඖෂධය ලබාදුන් අය වගකිය යුතු යැයි පාලකයින් පවසනු ඇත. ඖෂධ මාෆියාව රජයනු ඇත. ජනතාව ජීවිතවලින් වන්දි ගෙවද්දි හෙද කාර්යමණ්ඩලය රැකියාවෙන් වන්දි ගෙවනු ඇත.

මෙකී ඛේදවාචකයට එරෙහිව ජනතාව සෞඛ්‍ය සේවකයන් සමඟ අත්වැල් බැඳ ගැනීම, අරගල කිරීම, මේ දුර්දාන්ත පාලනය අවසන් කිරීම මෙම ගැටළුවට සැබෑ පිළිතුරු වනු ඇත.

රවින්ද්‍ර කහදවාරච්චි
සභාපති
සමස්ත ලංකා හෙද සංගමය

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment