සෞඛ්‍යට හෙට එන අලුත් අමුත්තා

by admindasun
0 comment 64 views

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය අද (10) නිවේදනය කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා අතින් පත්වීම් ලිපිය ලබාගත් ඔහු හෙට දින සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බාර ගන්නා බව News Unlimited සමග පිළිසදරක එක්වෙමින් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව තනතුරේ වැඩ බාර ගැනීම සරළව සිදු කෙරන අතර ඉන් පසු වැඩ අරඹන බවයි. මෙවර සෞඛ්‍ය විෂයට අමතරව ජනමාධ්‍ය අමාතංශයේද ලේකම් ලෙස කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

වෛද්‍ය පරිපාලනය පිළිබදව විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරට කොවිඩ් – 19 වසංගතය පැවති කාල සීමාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළද කොවිඩ් වසංගත සමය අවසන් වීමත් සමග ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීම පිළිබදව එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජයට දැඩි විවේචනයක් ද එල්ල විය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානියා ලෙස කැපී පෙනෙන මෙහෙයක් මීට අවුරුදු 20කට පමණ පෙර සිදු කළ ඔහු පසුව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වුණු අතර නැවතත් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය. ඉන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී.

 

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment