ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ වැඩසටහනකින් මුදල් වංචාවක් සිදු වුණු බවට නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාට එල්ල වුණු චෝදනාවලින් ඔහු නිදහස් වුවද තම මහත්මා ගුණය පෙන්වමින් ඔහු තම තනතුරෙන් ඉල්ලා අස්වුණු බව ඊයේ (2024 සැප්තැම්බර් 13) ඔහු නිවේදනය කළේය.
තම ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා නීතිඥ කමිටුවේ කවුන්සිලය වෙති ලිඛිතව දැනුම් දුන් ඔහු තම ඉල්ලා අස්වීමට හේතුව එම ලිපියේ සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් News Unlimited වෙත අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා පැවසුවේ චෝදනාවට ලක්වුණු වැඩසටහනෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට විශාල ආදයමක් ලැබුණු අතර තමාට පෞද්ගලිකව ලැබුණු මුදල පවා නීතිඥ සංගමයට පරිත්‍යාග කළ බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.
“ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) මෙරට අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වූ වැඩසටහනක් සදහා ආරාධනා කළා. ඒ සදහා සංගමයේ වෙනම කමිටුවක් පත් කර ගත්තා. ඒ සියලු දේ වුණේ එවකට සිටි ලේකම් තුමා සහ උප ලේකම්තුමාගේ අනුදැනුමෙන්. JICA ආයතනය කියන්නෙ ලෝකයේ තිබෙන මෙවැනි ආයතන සම්බන්ධයෙන් ඉතාමත් කීර්තිමක් ආයතනයක්. ඒ නිසා ඔවුන් සමග වැඩ කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් කීර්තියක්. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාරගත් පසු ඒ සදහා පත් කළ කමිටුව වෙත ලැබුණු මුදල් වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් ඉන් මුදලක් වෙන් කෙරුණා. අපගේ මුදලුත් අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පරිත්‍යාග කළා. කෙසේ වෙතත් අවසානයේ මෙම වැඩසටහන සදහා විමර්ෂණයක් සිදු කිරීමට පත් කළ කමිටුවෙන් ඔප්පු වුණා එතන මුදල් චංචාවක් සිදු නොවුණු බව. මෙම වැඩසටහන පිළිබදව නීතිඥ සංගමයේ අදාළ කමිටුවට දැනුම් නොදීම සම්බන්ධයෙන් විනිවිදභාවය පිළිබද ප්‍රශ්නයක් පමණක් ඇති බව එම කමිටුවේ වාර්තාවෙන් ලිඛිතව දැනුම් දී තිබෙනවා.”
ජනාධිපති නීතිඥ නවරත්න මහතා තවදුරටත් පැවසුවේ තමා නිරගයෙන් ධූර කාල දෙකක් සදහා නීතිඥ සංගමයේ සභාපති ලෙස පත් වුණු අතර නීතිඥ සංගමයේ තනතුරුවල සදාකාලිකව සිටීමේ අරමුණක් තමා තුළ නොතිබූ බවයි.
මුල සිටම තම වෘත්තීය ජීවිතය තුළ කණිෂ්ටයින් නගා සිටුවීමට කටයුතු කළ තමා තරුණයින්ට අවස්ථාව දීමට හැම විටම කැමති බවත් ඔහු කියා සිටියේය.