ඉන්ධන හිගයක් අත ළග?

by admindasun
0 comment 79 views

මෙරට මේ වන විට පවතින ඉන්ධන තොග සැලකූ විට ඒවා ප්‍රමාණවත් වන්නේ ඉදිරි දින 10ට පමණක් බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ එක්සත් සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසුවේ දිනකට මෙරට පරිභෝජනයට ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක ප්‍රමාණයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 65000ක සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32000ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම ඉන්ධන තොග සෑහෙන්නේ දින 10කට පමණක් බවත් පාලිත මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඛනිජ තෙල් ආනයනය කිරීම සදහා ඩොලර් මිලියන 50ක මුදලත් බැංකුගත කිරීමට අවශ්‍ය වුවත් එය සිදු කිරීමට රජය මේ වන තෙක් අපොහොසත් වී ඇති බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පැවසුවේ දැනට පවතින තොග හිගයකින් තොරව ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් වන බවයි.

ඉන්ධන හිගයක් පිළිබදව අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන අතර රජය විසින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීම සහතික කරන බවත් විජේසිංහ මහතා තව දුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment