ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් අද දින රට වැසීම ඇතුළු තවත් යෝජනා රැසක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා ඇත.
පවතින කොව්ඩ් – 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීමට නම් අවම වශයෙන් සති 03ක් රට වැසිය යුතු බව එම ලිපියෙන් පෙන්වා දේ.
දැනට ක්‍රියාත්මක වන එන්නත්කරණයේ ප්‍රතිඵල ලැබීමට තව මාසයක පමණ කාලයක් ගත විය හැකි අතර එතෙක් රට වසා පවතින තත්ත්වය මැඩපැවැත්විය යුතු බව පක්ෂ නායකයින් එම ලිපියෙන් කියා සිටී.
මෙම ලිපිය සදහා අපේ ජනබල පක්ෂය වෙනුවෙන් අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ඇමැති විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් ඇමැති උදය ගම්මන්පිළ, ජාතික කොන්ග්‍රසය වෙනුවෙන් ඒ. එල්. එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් ටිරාන් අලස්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනුවෙන් අසංක නවරත්න සහ යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් ගෙවිදු කුමාරතුංග අත්සන් තබා ඇත.
මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන රට වැසීමක් සිදු නොකරන බව අවසන් වරට ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ පෙරේදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදීය.
