ගුරු වර්ජනයෙන් විභාග අනතුරේ

by admindasun
0 comment 1275 views

මේ වන විට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු විභාග වැඩද වර්ජනය කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මෙම සන්ධානය වෙනුවෙන් කරුණු දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ. පො. ස. (සාමාන්‍ය පෙළ), අ. පො. ස. (උසස් පෙළ) සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග මෙසේ වර්ජනය කරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ අදාළ විභාගවලට පෙර තම ගැටලුවලට පිළිගත හැකි විසදුමක් නොලැබුණොත් විභාග රාජකාරී කටයුතු මෙන්ම උත්තර පත්‍ර ඇගයීම් කටයුතුද වර්ජනය කිරීමට නියමිත බවයි.

මේ දිනවල මෙම විභාග රාජකාරී කටයුතු සදහා අයදුම් කළ යුතු වුවද කිසිදු ගුරුවරයෙකු ඒ සදහා අයදුම් කර නොමැති බවත් ජයසිංහ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විමසූ විට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ගුරු ගැටළු විසදීමට මේ වන විටත් රජය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවත් පත් කර ඇති අතර විභාග පැවැත්වෙන කාල සීමාව වන විට එය විසදී තිබිය හැකි බවයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන මේ වන විටත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කර නොමැති අතර දින නියම කළ සැනින් විභාග රාජකාරී සදහා ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැදවන බවත් පූජිත මහතා පැවසුවේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කිරීම, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් ගුරුවරුන් වර්ජනය දියත් කර ඇති අතර මේ වන විටත් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරු ඉවත් වී සිටී.

මේ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එක් එක් ගුරු සංගමය සමග සාකච්ඡා පවත්වමින් යන අතර අවසානයේ මේ සදහා විසදුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment