කොවිඩ් සටනේදී වසංගත රෝග ප්‍රධානියා අසමත් – GMOA

by admindasun
0 comment 209 views

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන අතර වසංගත රෝග සහමුලින්ම තුරන් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගෙන තිබුණද වර්තමාන ප්‍රධානියා සහ තවත් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් එම කීර්තිනාමය ගිලිහී යන තත්ත්වයට පත්ව ඇති බව ‌රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

අද උදෑසට සෞඛ්‍ය අමාත්‍යවරිය හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ‌ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා සිටියේ ‌වසංගත රෝග විද්‍යා ඒකකය පිළිබද මෙන්ම පවතින තත්ත්වය හමුවේ තම ස්ථාවර අමාත්‍යවරිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

දැනට පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පමණක් සියලු කටයුතු අසම්පූර්ණ ලෙස කළමණාකරණය කිරීම නිසා සමස්ථ රටම දැඩි අභියෝගයකට ලක් වී ඇති බවත් වෛද්‍ය ප්‍රනාන්දු පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රනාන්දුට අනුව වසංගතයක් මැඩලීමේ කාර්යය ශ්‍රී ලංකාවේ සුලු පිරිසකගෙන් කෙසේ වත් කළ නොහැකි බවයි. විශේෂයෙන්ම මාස 16 ක් වැනි දීර්ඝ කාලයක් රට තුල වසංගතය පැතිරෙන විට සියලු පාර්ශවයන්ගෙන් සහයෝගය ගෙන කාර්යක්ෂමව තීන්දු තීරණ ක්‍රියාත්මක විය යුතුය.

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු 300 ක් පමණ සිටින අතර වසංගත රෝග විද්‍යා ඒකකයට නිල වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුද, ඊට අමතරව තවත් වැඩ බලන  විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙකුද වශයෙන් විශේෂඥ වෛද්‍යවරු 24 දෙනෙකු හා ශ්‍රේණි වෛද්‍යවරුන් පිරිසක්ද අනුයුක්ත කර ඇති අතර එසේ වුවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන කාර්යයන් එම ඒකකයේ තිදෙනෙකු අතර ප්‍රධාන වශයෙන් පැවරීම නිසා සෑම අංශයකම ආකර්යක්ෂමතාවය ඇති වී ඇති බවත් වෛද්‍ය ප්‍රනාන්දු පවසයි.

එමෙන්ම රෝගය පැතිරීම පිළිබඳ ග්‍රාමනිලධාරි වසම් මට්ටමෙන් තොරතුරු රැස් කිරීම අද දක්වා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් කාර්යක්ෂමව සිදු වන්නේ නැත. රෝගීන්ගේ ව්‍යාප්තිය මහජනතාවට දෘශ්‍යමාන වන ලෙස දෛනිකව යාවත්කාලීන වන සිතියමක් අද දක්වා එළිදැක්වීමට එම ඒකකය අපොහොසත් වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මැදිහත් වී ඒ සඳහා අවශ්‍ය කරන අන්තර්ජාල හා අනිකුත් මෘදුකාංගය නිර්මාණය කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට භාර දී තිබුනද ඒ සම්බන්ධ නිල දත්ත සිතියම් ගත කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය අපොහොසත් වී ඇත.

තවද කොවිඩ් එන්නත්කරණයේ ප්‍රධාන වගකීම පැවරෙන වසංගත රෝග විද්‍යා ඒකකයට අද දක්වා එහි විද්‍යාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල සකස් කොට එළිදැක්වීමට නොහැකි වී ඇත. ඊයේ දිනයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මහජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ අප දැනුවත් කිරීමට ක්ෂණික ඇමතුම් ඒකකයක් ආරම්භ කල අතර එන්නත්කරණයේදි සිදු වන අක්‍රමිකතා පිළිබඳ විශාල පැමිණිලි ප්‍රමාණයක් දිනක් තුල අපට වාර්තා විය.

අද දින උදෑසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය හමු වී වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහත ගැටලුන් හා එන්නත්කරණයේදි සිදුවන අක්‍රමිකතා පිළිබඳවත් අමාත්‍යවරිය දැනුවත් කිරීම අද දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සිදු කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment