‘පැය 08 වැඩ මුරය 10 කිරීමට ආණ්ඩුව සැරසෙයි’

by admindasun
0 comment 88 views
මේ වන විට ක්‍රියාත්මක වන පැය 08 වැඩ මුරය අහෝසි කර ඒ වෙනුවට පැය 10ක වැඩ මුරයක් හදුන්වා දීමට ආණ්ඩුව නීති සකස් කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ අද දින චෝදනා කළේය.
132 වැනි මැයි දින සැමරුම අන්තර්ජාලය ඔස්සේ පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ එපමණක් නොව කාන්තාවන් රාත්‍රි වැඩ මුරවල යෙදවීමද එම සංශෝධනවල සදහන් වී ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
වැඩකරන ජනතාවගේ දිනයේදීත් හාම්පුතුන් තමන්ගේ කර්මාන්ත ශාලාවල සේවකයන් යොදවා වැඩකරමින් ඉන්නවා. තමන්ගේ ලාබය වෙනුවෙන් මැයි දිනය දවසේත් පෞද්ගලික අංශයේ සේවකයෝ සේවයේ යොදවා තිබෙනවා. වසර 132කට පෙර එදා හේමාකට් කම්කරුවෝ පාරට බැස්සේ අනාගත පරම්පරාවන් වෙනුවෙන්. එදා ලබාගත් පැය අටේ වැඩ දිනය වෙනුවට ධනපති පංතිය පැය 10ක වැඩ දිනයක් වෙනුවෙන් නීති සංශෝධනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. කාන්තාවන් රාත්‍රියේ සේවයේ යොදවන්න නීති සංශෝධනය කරමින් ඉන්නවා. සමාජය වෙනස්කම්වලට ලක්වෙලා, ප්‍රවාහන පහසුකම් වැඩිවෙලා, හැබැයි කාන්තාවකට, දරුවෙකුට ආරක්ෂා සහිතව පාරේ යන්න පුළුවන්ද කියන අනතුර තිබෙනවා.
ලෝකය ඉදිරියට යනවා, සංවර්ධනය වෙනවා, මිනිස්සු අඟහරු ලෝකයේ පදිංචියට යනවා කියන ධනපති ක්‍රමය අද දරුවන්ගෙන් වැඩ ගන්න නීති හදනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය දරුවෙක් ලෙස සලකන්නේ වසර 15කට අඩු කෙනෙක්. ඊට වැඩි අය සතියකට පැය 07ක් හෝ 14ක් වැඩ කරන්න පුළුවන් කියන නිර්ණායකයක් දෙනවා. ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් ලෝකය පුරා නීති සංශෝධනය කරද්දි, ලංකාවෙත් ඊට අදාළ නීති සංශෝධනය කරන්න පාලකයන් කටයුතු කරනවා. පැය අටේ වැඩ දිනය වැඩි කරන්න, කාන්තාවන් රාත්‍රියේ සේවයේ යොදවන්න, ළමුන් සේවයේ යොදවන්න මූලික පියවර ගනිමින් තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී පොරොන්දු දුන්නාට අය-වැය දෙකක් ඉදිරිපත් කරලත්, දෙලක්ෂ විසිපන්දහසක් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය නිවැරදි කරන්න කටයුතු කළේ නැහැ. 2016 සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ලක්ෂයකට ආසන්න පිරිසක් තමන්ට හිමිවිය යුතු වැටුප විශ්‍රාම යාමේදී නොලැබීම නිසා, සටනක ඉන්නවා. ඒ වගේම වසර 150කට වැඩි කාලයක් තිස්සේ පවතින වතු ක්ෂේත්‍රයේ යෙදී සිටින කම්කරුවන්ගේ වැටුප් අරගලය මැතිවරණවලදී, තොරොම්බල් කරනවා විතරයි. රුපියල් 1000/- දිනක වැටුප ලබානොදීමට මේ රටේ පාලකයන් වතු හාම්පුතුන් සමග එකතුවෙලා කුමන්ත්‍රණ කරමින් ඉන්නවා.
රාජ්‍ය සේවයේ උපාධිධාරියෝ සේවා ව්‍යවස්ථාව සම්මත කරගෙන තමන්ට හිමි වැටුප් ලබාගන්න අරගලයක යෙදී සිටිනවා. කෝවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය සේවා සේවකයන් දැවැන්ත අරගලයක යෙදී ඉන්නවා. වෛද්‍යවරුන්ගේ සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩල දක්වා සියලුම දෙනා කෝවිඩ් මර්දනයට වැඩ කරන ගමන් වෘත්තීය අරගලයකත් යෙදී සිටිනවා. ස්වයං රැකියාවල යෙදී සිටි විශාල පිරිසකට ජීවන මාර්ග අහිමිවෙලා. ඒ අය ජීවත් කරවන්න පාලකයනට් වැඩපිලිවෙළක් නැහැ. ලෝක නිෂ්පාදනය බිඳ වැටෙද්දී ලංකාවේ කර්මාන්තවලත් බිඳ වැටීම් වෙද්දී රැකියා අහිමිවීම්වලට උත්තර දෙන්න පාලකයෝ අසමත් වෙලා. මෙරටට ඩොලර් බිලියන 04කට ආසන්න විදේශ විනිමයක් ගෙනා සංචාරක ව්‍යාපාරය 2019දී ඩොලර් බිලියන 01කටත් 2020දී ඩොලර් මිලියන 600කටත් අඩු වෙලා. අද සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ එකහමාරක ඍජු රැකියාත් ලක්ෂ 04ක වක්‍ර රැකියාත් අහිමි වෙලා තිබෙනවා.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment