පෝට් සිටි ව්‍යවස්ථාවට අනුකූල වුවත් හානිදායකයි

by admindasun
0 comment 19 views
මේ වන විට පෝට් සිටි පනත පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් එහිදී විමසා බලෙන්නේ මෙම පෝට් සිටි පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන කරුණ පමණක් වන  නමුත් මෙම පනතේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික හානි රැසක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අද දින පක්ෂ මූලස්ථානයේ පැවැති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ පෝට් සිටි පනත ක්‍රියාත්මක වුවහොත් සිදු විය හැකි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික හානි පිළිබඳව රට තුළ මතයක් ගොඩනැගිය යුතු වන බවයි.
ජනාධිපතිවරයා බලයට පැමිණීමේදී කියා සිටියේ දේශප්‍රේමී, ස්වෛරීත්වය රකින පාලනයක් පිහිටුවන බවයි. ඒ නිසා රට නොවිකුණන බවත් පාවා නොදෙන බවත් ඔහු කිවුවා. රට රකිනවා නම් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ පමණක් බවට මතයක් රටේ හැදුවා. එසේ බලයට ආපු ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැන් රටේ ස්වෛරීභාවය අහිමි කරන පෝට් සිටි පනත ගෙනැවිත් තිබෙනවා, යැයි ටිල්වින් සිල්වා මහතා පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා;
“ජනාධිපතිවරයා විසින් වරාය නගරය පාලනය කිරීමට අදාළව සකස් කර ඇති පනතට අනුව එය සිදු කරන්නේ කොමිෂන් සභාවක් මගිනුයි. එම තත්වය විසින් අපේ රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක් එල්ල කරනවායැයි අපි හිතනවා. අපි එකම රටක්නම් එකම නීතියක්නම් පෝට් සිටියටත් රටේ නීතිය වලංගු විය යුතුව තිබෙනවා. නමුත් අපිට පේන්නේ එය භූගෝලීය වශයෙන් රටට අයිති වුණාට නීතිමය වශයෙන් අයිති නැති කිසියම් නිදහසක් ප්‍රදානය කරන ලද කලාපයක් බවට එය පත් කොට ඇති බවයි. “
“පළමුවැනි කරුණ රටේ පොදු පාලනයෙන් මෙය ඉවත්කරනු ලැබ තිබීමයි. මෙය කොළඹ නගර සභාවට හෝ බස්නාහිර පළාත් සභාවට අයිති වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වගකින්නේ නැති ප්‍රදේශයක්. මහජන නියෝජිත ආයතනවලට මෙය අයත් වන්නේ නැහැ. මෙය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් මගින්. එය පස්දෙනෙකුගේ සිට හත් දෙනෙකු දක්වා වන පිරිසකගෙන් සමන්විතයි. එයට පත් කරනු ලබන්නේ කවුරුන්දැයි පැහැදිලි නැහැ. මෙය පත්කිරීමේදී ජනාධිපතිවරයා කිසිවෙකුට වගකියන්නේ නැහැ. එය ඇමති මණ්ඩයෙන් විමසන්නේ නැහැ. එහි අදහස පෝට් සිටිය පාලනය වන්නේ ජනාධිපතිවරයා අතින් බවයි. මෙහි විශාල අනතුරක් තිබෙනවා. එක් පුද්ගලයෙක් අතින් මෙය පාලනය වීමේදී පෝට් සිටියේ පදිංචිකරුවන්ට, ඉඩම් අල්ලාගෙන සිටින්නවුන්ට, එහි ජාවාරම්කරුවන්ට තමන්ට හොඳ ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් මැදිහත්වීමට ඉඩක් හදනවා. ජනතාවගේ පරමාධිපත්‍යයට පිටින් ඇති නිසා ස්වෛරීත්වයට හානි කරන බව පැහැදිලියි.”
“ආණ්ඩුව කුමන තර්ක ඉදිරිපත් කළත් මෙම පනත මගින් රටේ නීතිරීති විශාල ප්‍රමාණයක් ඉවත්කොට තිබෙනවා. පෝට් සිටි පනතේ අග උපලේඛනවල ඊට අදාළ නොවන පනත් යටතේ ඒවා සඳහන් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය පනත. ක්‍රමෝපාය සංවර්ධන පනත, ආයෝජන මණ්ඩල පනත වැනි ව්‍යාපාර පවත්වාගෙන යාමට අදාළ පනත් ගණනාවක් ඒ අතර තිබෙනවා. මෙය ස්වෛරීත්වයෙන් ඉවත් කරන ලද වෙනම බලප්‍රදේශයක්. පෝට් සිටි පනත නිසා එකම රටක් එක නීතියක් වෙනුවට නීති දෙකක් රටවල් දෙකක් බවට පත් වෙනවා.”
“මේ පෝට් සිටිය නිර්මාණය වන්නේ චීනයේ වුවමනාවට අනුවයි. එහි ආර්ථික හා දේශපාලන වුමනාකම් වෙනුවෙන් ඔවුන් මෙය හදනවා. අපට ඉඩමක් හදා දෙන්න චීන සමාගමකට වුවමනාවක් හැදෙන්න විදිහක් නෑ. එහි සම්පූර්ණ වියදම දරුවේ ඔවුන්. ඔවුන් තමන්ගේ දේශපාලන හා ආර්ථික වුවමනාකම් වෙනුවෙන් එය මෙහෙයවනවා. මෙය ආණ්ඩුව පෙන්නන තරම් සරල කාරණයක් නෙමෙයි. එම නිසා අනිවාර්ය ලෙසම ලංකාව කලාපීය බල අරගලයක ගොදුරක් බවට පත්වෙනවා.”
“මේ කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා ජපානය ප්‍රමුඛ කඳවුර එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් චීනය ආර්ථික බලවතෙක් ලෙස සිටිනවා. මෙම කඳවුරු දෙක අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඉන්දියාව අසල දූපතක් හදාගෙන චීන ආර්ථික දේශපාලන වුවමනාකම් ඉටු කරන්නා විට ඊට එරෙහිව ඉන්දියාවත් ඇමරිකාවත් ක්‍රියාත්මක වීම අනිවාර්යයක්. ආණ්ඩුව කිවුවේ අපි නොබැඳි ප්‍රතිපත්තියක සිටින බවයි. කිසිවෙකුට දණ නොනමන බවයි. නමුත් මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්කරනවා. ලංකාවට මේ රටවල් සමග හැපෙන්න හයියක් නැහැ. දැනටමත් ලංකාව ජීවත් වෙන්නේ චීන හා ඉන්දියානු ණය මතයි. ණය නැතිවුණොත් ආණ්ඩුවත් නැහැ. ලංකාව කියන්නේ ඒ ණය හිලව්වට රටේ කෑලි ලබා දෙන ආණ්ඩුවක් සහිත රටක්. පෝට් සිටිය කියන්නෙත් එම ප්‍රතිපත්තියේම දිගුවක්.”

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment