මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කිසිම කෙනෙකුට විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකෙරෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද දින තංගල්ලේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදුදීමක් සම්බන්ධව වෘත්තීය සමිති බියක් ඇති කර ගත යුතු නොවන බවයි.
නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදුදීමක් සම්බන්ධව රජය විසින් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡාවක් පවත්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩ වර්ජණය කිරීමට සැරසෙන වෘත්තීය සමිති තමා මුණ ගැසුනේ නම් ඒ පිළිබදව තමා විසින් පැහැදිළි කර දෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ සම්පත් විකිණීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වන අතර තමා හෝ ජනාධිපතිවරයා එවැනි මතයක නොමැති අතර තම ආණ්ඩුවක් තුළින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමක් සිදු නොවන බවයි.
එසේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදුදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාමූහික අදහස මෙය වන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
ඒ අනුව එම ජැටිය තව දුරටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතින බවද අගමැතිවරයා කියා සිටියේය.
