මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සදහා විශේෂ කොමිසමක් පත් කළ යුතු බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායතක්තව මණ්ඩල සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.
අද දින මාධ්‍ය හමුවක් අමතමින් තව දුරටත් ඔහු කියා සිටියේ මහර බන්ධනාගාර සිදුවීමේදී නිරායුධ රැඳවියන් වෙඩි තබා ඝාතනය කිරීම ඉතාම බරපතළ සිදුවීමක් බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සෑම සිරකරුවෙක්ම රජයේ භාරයේ සිටින අතර රජයේ ආරක්‍ෂාව යටතේ සිටින රැඳවියන් අමු අමුවේ මරා දැමීම ඉතාම භයානයක තත්වයක් බවයි.
එම සිදුවීමෙන් මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සිහිපත් වන අතර එහිදී රැඳවියන් 28දෙනෙකු මරා දැමුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පරීක්‍ෂණයක් මේ වනතුරු සිදු වී නොමැති බවටත් විජේනායක මහතා චෝදනා කළේය.
එසේම මහර සිදුවීමට දින 5කට අධික කාලයක් ගතවෙලා තිබියදීත් මූලික පරීක්‍ෂණවත් පවත්වන්න ආණ්ඩුව තවමත් අසමත් වී ඇති අතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්‍ෂණයක්ද සිදු වී නොමැති බව විජේනායක මහතා පැවසුවේය.
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇති අතර එම නිසා මෙරට මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නය නැවතත් ලෝකය ඉදිරියේ මතුකරන සිදුවීමක් වීමටද මෙම කරුනු හේතු වන බව ඔහු පැවසුවේය.
එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර මහර සිදුවීමේ සුලමුල සෙවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් අපක්‍ෂපාතී කොමිසමක් පත් කරන ලෙසද තව දුරටත් ජාතික ජන බලවේගය ඉල්ලා සිටියේය.
