නුගේගොඩ ඉඩම් කොල්ලයේ අනිත් පැත්ත

by admindasun
0 comment 69 views

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් මහතා තවත් පිරිසක් සමග නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට ඇතුලු වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ‍ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝ පටය මගින් එරාජ් මහතා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ බලය පාවිච්චි කරමින් කොළඹ ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්නා බවක් කියන්නට උත්සාහ කළත් එය පිටුපස ඇත්තේ වෙනත් කථාවක් බව මේ පිළිබදව අගතියට පත්වූ පාර්ශ්වයක් News Unlimited වෙත පැවසුවේය.

අපට තොරතුරු පැවසූ අය කියා සිටියේ පසුගිය වර්ෂය වන විට මෙම ඉඩමේ අයිතිකරු ලෙස නුගේගොඩ ඉඩම් කර්යාලයේ සටහන් වී පැවතියේ ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය යන අය වන අතර ඔහු එම ඉඩම මිලදී ගෙන ඉන් පසුව කාලයක් එම ඉඩම බදු දී පැවති බව ද ඉඩම් ලේඛණවල දැක්වෙන බවත්ය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව ඉන් පසුව ඩෙක්ස්ටර් බාලසූරිය යන අය විසින් මෙම ඉඩම හම්බන්තොට පදිංචි සනිත් සංජීව යන තරුණයා වෙත සින්නකර ලෙස පවරා ඇත. සනිත් සංජීව විසින් මෙම ඉඩම උකස් තබා ණය මුදලක් ඉල්ලුම් කිරීමට යාමේදී මෙම ඉඩමට අදාළ අවසන් පත් ඉරුව ඉරා දමා ඒ වෙනුවට අලුත් පත්ඉරුවක් ඇතුළත් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු විසින් මිරිහාන විශේෂ අපරාධ ඒකකයට සහ ඉන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කර තිබේ.

ඒ අතරතුර ඩෙක්ස්ටර් අජිත් බාලසූරිය විසින් මෙම ඉඩම මොහොමඩ් නසුර්දීන් නැමැති මුස්ලිම් ජාතිකයා වෙතද අලෙවි කර තිබේ. ඒ අනුව එම ඔප්පුව ද නුගේගොඩ ඉඩම් කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ. (සනිත් සංජීව යන අයගේ පත්ඉරුව ඉරා අතුරුදන් කර තිබූ හෙයින් මෙය මේ ආකාරයෙන් සිදුව තිබේ).

පසුව හෙළි වූ පරිදි ඩෙක්ස්ටර් බාලසූරිය යන තැනැත්තා මෙවැනි ආකාරයෙන් වංචනික ලෙස ඉඩම් අලෙවි කරන තැනැත්තෙකු බව හෙළි වී තිබේ. මෙම ඉඩම් ගණුදෙනුවෙන් පසුව වෙනත් මෙවැනි ගණුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩෙක්ස්ටර් බාලසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ඩෙක්ස්ටර් බාලසූරියගෙන් මෙම ඉඩම මිලට ගත් පුද්ගලයන් දෙදෙනෙකු සිටිති. එනම් සනිත් සංජීව සහ නසුර්දීන් යන අයයි. මෙම දෙපාර්ශවයම එකතු වී තමන්ට සිදුවූ අලාභය පියවා ගැනීමට එකට එක්වී මෙම ඉඩම අලෙවි කිරීමට සූදානම් වී තිබේ. කෙසේ වුවද මේ කිසිවෙකුට ඉඩමට ඇතුලු වීමට කිසියම් පිරිසක් බාධා කරමින් සිටිති. මොවුන් ඩෙක්ස්ටර් බාලසූරි‍යට සම්බන්ධ මැර පිරිසක් හෝ කොළඹ ඉඩම් ගනුදෙනු වලින් කප්පම් ගන්නා මැර පිරිසක් බව අප වෙත තොරතුරු පැවසූ අය කියා සිටියේය.

සනිත් සංජීව යන අය සහ මොහොමඩ් නසුර්දීන්ගේ පිරිස විසින් ඒකාබද්ධ වී මෙම ඉඩම වටා මායිම් තාප්පයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී මෙම මැර පිරිස විසින් ඔවුන්ට පහර දෙන ලද අතර, එක් අයෙකු රෝහල් ගත කිරීමට සිදුවිය. මෙම පහර දීම සම්බන්ධයෙන් නැවතත් මිරිහාන පොලීසිය වෙත පැමිණිලි කරන ලදී.  කෙසේ වුවද මෙම ජීවිත තර්ජන හමුවේ නැවත මෙම ඉඩමට ඇතුලු වීමට දෙපාර්ශවයට ම නොහැකි විය. ඉඩම් ජාවාරම් කරුවන්ගේ බලය සියල්ලට ඉහලින් පැවතිණි. දිගින් දිගටම පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණ ද කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීය.

නීතියෙන් කිසිදු සහනයක් නොලැබුණු තැන, මෙම ඉඩමේ එක් ගැණුම්කරුවෙකු වන සනිත් සංජීව යන තැනැත්තා හම්බන්තොට දේශපාලන බලාධිකාරියේ පිහිට ඉල්ලා ඇත. අවසානයේ ඉඩමේ අයිතිකාර දෙදෙනාට මෙම ඉඩමට ඇතුලු වීමට හැකි වූයේ නගරාධිපති එරාජ්ගේ සහාය ඇතිව බව ඔහු පවසයි.

මෙම අවසන් සිදුවීම වීඩියෝ ගත කර ඇති කප්පම් කරුවන් එය සමාජ මාධ්‍ය වෙත ඉතා නිර්මාණ ශීලී අයුරින් මුදා හැර ඇති බවට ඔවුහු චෝදනා කරති.

මෙම සමාජ මාධ්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් ඉහත කී දෙපාර්ශවය දැනටමත් සයිබර් අපරාධ ඒකකය වෙත දැණුම් දී එය ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ.

මේ වන විටත් මේ සම්බන්ධව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර අගතියට පත් පාර්ශවය විසින්ද මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔවුගේ කතාව පහත ලින්ක් එකට පිවිසීමෙන් නැරඹිය හැකිය.

https://www.facebook.com/100009850381597/videos/1326482591023408

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment