ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නේනම් තමා පමණක් නොව තවත් 04 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලින් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසුවේය.
ඊයේ දිනයේදී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බවට පැතිර ගිය මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලෙස කැටගොඩ මන්ත්‍රීවරයා News Unlimited වෙත කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වන තෙක් පාර්ලිමේන්තුවට එන බවට තීරණය කර නොමැති බවයි.
එනිසා මේ අවස්ථාවේදී තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බවට පැතිරෙන කට කතා සාවද්‍ය බවත් කැටගොඩ මන්ත්‍රීවරයා කියා සිටියේය.
යම් හෙයකින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කැමැත්ත ප්‍රකාශ කළහොත් තමා ඉල්ලා අස්වීමට සූදානම්ද යන බව විමසූ විට ඔහු කියා සිටියේ තමා පමණක් නොව තවත් ජාතික ලයිස්තු මන්ත්‍රීවරු 04 දෙනෙකු ඒ සදහා සූදානමින් සිටින බවයි.
තව දුරටත් අදහස් දැක්වූ කැටගොඩ මහතා පැවසුවේ කෙසේ වෙතත් මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙමින් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර පාර්ලිමේන්තුවෙන් පිට ඔහුට විශාල කාර්යභාරයක් සිදු කිරීමට ඇති බවයි.
එනිසා විරුද්ධවාදීන් සිතන පරිදි 20 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබද තිබුණු සීමාව ඉවත් කළ සැනින් පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට කිසිදු හදිසියක් නොමැති බවත් කැටගොඩ මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාළන මන්ත්‍රීවරුන්ගේ මට්ටමේ සිට පාර්ලිමේන්තු ඇමැතිවරු දක්වා විශාල ලෙස බල කර සිටින බවත් ඔහු කියා සිටියේය.
