ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් සාවද්‍ය බව බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීප ආරංචි මාර්ග News Unlimited වෙත පැවසුවේය.
ජයන්ත කැටගොඩ මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් අද දින ඉල්ලා අස්වන අතර ඉන් පසු ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන බවට අද දින ඉංග්‍රීසි පුවත්පතක පලවුණු වාර්තාවද සාවද්‍ය බව එම ආරංචි මාර්ග පවසයි.
තවදුරටත් අදහස් දැක්වූ එම ආරංචි මාර්ග සදහන් කළේ රජයේ අමාත්‍යවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා විසින් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කර ඇති අතර මේ වෙන තෙක් බැසිල් රාජපක්ෂ මහතා එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
ඉදිරියේදී එවැනි තීරණයක් ගන්නේදැයි News Unlimited විමසූ විට ආරංචි මාර්ග කියා සිටියේ පවතින දේශපාලන තත්ත්වය සමග ඒ මොහොතේ ඇති අවශ්‍යතාව අනුව දේශපාලන තීන්දු ගැනීම සිදු විය හැකි බවයි.
පසුගිය මහ මැතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවූයේ තමා ද්විත්ව පුරවැසියෙක් වන නිසා වන අතර මේ වන විට 20 වන සංශෝධනය හරහා එම බාධාව ඉවත් කර ඇති බැවින් බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බවට මැතිවරණයෙන් ටික දිනකට පෙර සිට දේශපාලන පිටියේ විවිධ කතා පැතිර ගියහ.
