මේ වන විට ඇතිවී තිබෙන කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග සෞඛ්‍ය සේවයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලබන හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදෙන්නේනම් සේවයට වාර්තා නොකරන බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ රට පුරා පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල් ලබා ගැනීමේ සිට කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කරන්නේ හෙද හෙදියන් විසින් බවයි.
එසේ නමුත් ඔවුනට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protection Equipment – PPE) සහ N95 වර්ගයේ මුඛ ආවරණ ප්‍රමාණවත් තරම් නොමැති බවත් ඔහු පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වූ රත්නප්‍රිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඔක්තෝබර් 31 වන දින රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය විසින් මාතර, ගම්පහ සහ ඉංගිරිය රෝහල්වල ඔවුන් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණු බවයි.
එසේම සේවයට වාර්තා කරන හෙද හෙදියන්ට ප්‍රවාහන පහසුකම් නොමැති වීම ප්‍රධානතම ගැටළුවක් බවත් එම පහසුකම් ලබා දීමට වහාම පියවර නොගතහොත් තම සාමාජිකයන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බවත් රත්නප්‍රිය මහතා පැවසුවේය.
