ව්‍යාපෘති කළමනාකරණ ඒකක අහෝසි කිරීමෙන් වෘත්තිකයින් අනතුරේ

by admindasun
0 comment 460 views

ශ්‍රී ලංකා රජයේ දායකත්වය සහිතව විදේශ මූල්‍ය ණය ආධාර මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් වර්තමාන රජය විසින් සිදුකරමින් සිටින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා එම ව්‍යාපෘති කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබා දුන් වෘත්තිකයින් ඇතුළුව ඉතා විශාල පිරිසකගේ රැකියා අහිමි වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව එම ව්‍යාපෘතිවල සේවයේ නියුතු කාර්යය මණ්ඩලවල එකතුවෙන් සැදුම් ලත් සංවර්ධන ව්‍යපෘති වෘත්තිකයින්ගේ සංසදය පවසයි.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව මේ වන විට ව්‍යාපෘති කළමනාකරණ ඒකක 167 ක් මගින් ව්‍යාපෘති 301 ක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිවල සේවයේ නිරතවන වෘත්තීයවේදීන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක් රැස් කරමින් පවතින අතර මෙම ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් පදනමින් බඳවාගත් සහ දැනට රාජ්‍ය සේවයේ ස්ථිර රැකියාවල නියුතු ව්‍යාපෘති කටයුතු සදහා නිදහස් කළ වෘත්තීයවේදීන් සේවයේ යෙදෙමින් සිටී.

ඒ අතරින් පූර්ණ කාලීනව කොන්ත්‍රාත් පදනමින් මෙම ව්‍යාපෘතිවල දිගු කාලයක සිට සේවය කරන පිරිස විශාල ප්‍රමාණයක් බවත් එම සංසදය පවසයි.

එබැවින් මෙම කටයුතු එකවර නවතා දැමීම හෝ අහිමි කිරීම අදාළ කාර්යය මණ්ඩලවලට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉතා බරපතලව ආර්ථිකමය ලෙස බලපානු ඇති බවත් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින සැලසුම්කරණ, ඉංජිනේරු, මූල්‍ය කළමනාකරණ, පරිසර හා සමාජ ආරක්‍ෂණ, ඉඩම් අත්කරගැනීම් හා නැවත පදිංචි කිරීම්, මෙහෙයුම්, ඉගෙණුම් හා ඇගයුම්, තොරතුරු තාක්‍ෂණ, ප්‍රසම්පාදන හා ව්‍යාපෘති කළමනාකරණ ආදී ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම, පළපුරුද්ද සහ දෙස් විදෙස් පුහුණුව සහිත ප්‍රවීණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවකින් මෙම සංවර්ධන ව්‍යාපෘති වෘත්තිකයින්ගේ සංසදය සමන්විත වන අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් මොවුන්ගේ සේවය තවදුරටත් රටේ සංවර්ධනය සඳහා ලබා නොගැනිමෙන් සංවර්ධන ව්‍යාපෘති අඩාලවීමේ අවධානමක්ද මතුවී ඇති බව දුරටත් පවසයි.

කෙසේවෙතත්, මේ වනවිට 2021 අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 මගින් සපයා ඇති මාර්ගෝපදේශ අනුව ව්‍යාපෘති මෙහෙයුම් සදහා ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාල (PMU) අවශ්‍ය නොවන අතර දැනටමත් සේවය කරනු ලබන කාර්යය මණ්ඩලය මගින් එම ව්‍යාපෘතිවල කාර්යයන් සිදු කළ යුතු බවත් ඒ අනුව, ඉදිරි ඇස්තමේන්තු සැකසීමේදී අමාත්‍යංශ තුළ ව්‍යාපෘති ඒකක සදහා වියදම් ඇතුළත් නොකිරීමට වගබලා ගත යුතු ලෙසට සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා ඇත.

තවද නිකුත් වීමට යෝජිත “ව්‍යාපෘති කළමනාකරණ ඒකක (Project Management Unit -PMU) හා ශාඛා කාර්යාල, සහ ව්‍යාපෘති කාර්යය මණ්ඩල” යන ව්‍යාපෘති කළමනාකරණ චක්‍රලේඛ අංක 01/2020 මගින් මෙම අවධානම වඩාත් තහවුරු වේ.

මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදුකිරීමේ දී මෙම ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන සේවා පළපුරුද්ද සහිත වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් වඩා පුළුල් අධ්‍යනයක් සහිතව එය සිදු කරන්නේනම් දැනට පවතින අකාර්ය්‍යක්ෂමතාවන් අවම කරගනිමින් වඩාත් කාර්ය්‍යක්ෂම හා ඵලදායීලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ව්‍යාපෘති කළමනාකරණ ඒකකවලට ලබාදිය හැකි බව ව්‍යපෘති වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment