කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග රටට සෙත්පතා දිවයින පුරා ආවරණය වන පරිදි විහාරස්ථාන 200ක රතන සූත්‍රය දේශනා කිරීම ඊයේ ඇරඹුණු අතර එය දින 07ක් පුරාවට නොකඩවා පැවැත්වේ.
ඔක්තෝබර් 30 වන දින තෙක් සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුළ මෙම රතන සූත්‍ර දේශනාව සජ්ජායනය කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී ආරම්භ කෙරුණි.
එහිදී අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එක්විය.
කොවිඩ් – 19 වසංගතය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් මීට සමඟාමීව ඊයේ දින සිට දින 07 ක කාලයක් පුරා දිවයිනේ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක රතන සූත්‍රය දේශනා කිරීම ආරම්භ වූ බව නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියෝ පැවසූහ.
උන්වහන්සේගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු රතන සූත්‍රය සඡ්ඡායානා කිරීමේ පිරිත් දේශනාව සඳහා මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරථන නාහිමි, පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නාහිමි, පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන විද්‍යාලංකාර නාහිමි, පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි හා පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
ඉදිරි දින 07 තුළ පහත සදහන් විහාරස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් මෙම පිරිත් සජ්ජායනාව පැවැත්වේ.
ඔක්තෝබර් 24 – වාළුකාරාමය කොල්ලුපිටිය, කොළඹ 03
ඔක්තෝබර් 25 – නෙල්ලිගල රජමහා විහාරය මහනුවර
ඔක්තෝබර් 26 – ඥානෝදය පිරිවෙන් විහාරස්ථානය, ජයගග, තලාව, අනුරාධපුරය
ඔක්තෝබර් 27 – ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, කළුවැල්ල, ගාල්ල
ඔක්තෝබර් 28 – උපෝසථාගාරය, රන්දූපත, මාතර
ඔක්තෝබර් 29 – විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය, රම්බඩගල්ල, කුරුණෑගල
ඔක්තෝබර් 30 – වාළුකාරාමය, කොල්ලුපිටිය, කොළඹ 03
(වප්පුර පසළොස්වක පොහෝදා රාත්‍රි 9.30 සිට පසුදා පහන් වන තුරු)


