ද්විත්ව පුරවැසිභාවයට වඩා දරුණු තැන් 20 තිබෙනවා – ජවිපෙ

by admindasun
0 comment 37 views
ඊයේ දින පාර්ලිමේන්තුවේදී ඡන්ද 156කින් සම්මත වුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය තුළ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයක් පාර්ලිමේන්තුවට ඒමට වඩා භයානක දේවල් රැසක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
අද දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් මෙසෙද පැවසුවේය.
පාර්ලිමේන්තුවේදී 20වැනි සංශෝධනය ඡන්ද 156ක් ලබාගෙන සම්මත වුණා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරන සංශෝධනයක් මේක. පහුගිය කාලය පුරාවට ඒකාධිපති බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇතිවන පීඩනය කොයි වගේද කියලා ජනතාව දැක්කා. 20වැනි සංශෝධනයේ ඇත්ත හරය යටපත් කර ද්විත්ව පුරවැසිකම හා වෙනත් අතුරු කාරණාවලට වැඩි අවධානයක් යොමුකළා. නමුත් ඒ හරයේ තිබෙන ඇත්ත බරපතලකම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හැදූ ව්‍යවස්ථාවටත් එහා ගිහිල්ලා අසීමිත ඒකාධිපති බලයක් තනි පුද්ගලයෙකුට පැවරෙනවා. පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය, අධිකරණය යන සියලු දේවල් ඒ බලයට යට වෙනවා. කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිකම්ම රූකඩයන් බවට පත්වෙනවා. ඒ වගේම අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීම හා ඉවත් කිරීම, රජයේ උසස් නිලතල සඳහා පත් කිරීමේ තීරණ ගැනීම මුළුමනින්ම තනි පුද්ගලයෙක් අතට පත් වෙනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම හරය ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය අතර ලිග්ගල් තුනක් වගේ තුළිතභාවය ආරක්‍ෂා විය යුතුයි. දැන් ඒ සියල්ල යටපත් වෙලා තනි පුද්ගලයෙකු තීරණ ගැනීමේ භයානක තත්වයක් ඇතිවෙනවා. ආර්ථික, දේශපාලන වගේම වෙනත් පරිපාලන තීන්දු ගැනීම සහ පත් කිරීම, ඉවත් කිරීම, ජනාධිපතිවරයාට පැවරෙනවා. අගමැතිවරයා පවා පත්කිරීමත් ඉවත් කිරීමේත් බලය ජනාධිපතිවරයා යටතට පත්වෙනවා. ව්‍යවස්ථාදායකයේ පණ මුළුමනින්ම නැතිවීම සිද්ධ වෙන අතර අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම නැති වෙනවා. අධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයා ගත්තා කියන්නේ ඔහු පසුපස වැඳ වැටෙන තත්වයකට පත්වෙනවා. එය අධිකරණයේ කොන්ද කැඩීමක්. මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් හෙට දවසේ පෙනී ඉන්නකොට ඔවුන්ට එරෙහිව මේ ඒකාධිපති බලය යොදවන්න පුළුවන් තත්වයක් ඇතිකරගෙන තිබෙනවා.
20 සම්මත වුණේ කොහොමද? පහුගිය ඡන්ද කාලයේදී තනි සිංහල බලයක් ගොඩනගන්න 2/3බලයක් දෙන්න කියලා ජාතිවාදය පාවිච්චි කළා. වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් ගැන පුන පුනා කියමින් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය වැපිරුවා. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට අසමගිය වපුරලා බලය තහවුරු කරගන්න මැතිවරණ වේදිකාවල පාරම් බෑවා. ඒ වපුරපු ජාතිවාදය පරද්දන්න මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඊට එරෙහිව මුස්ලිම් ජාතිවාදය නැගී සිටියා. මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වුණේ මේ තත්වය. ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ඔක්කොම එකට එකතු වුණා. ජාතිවාදය වපුරපු අය හකීම්ගේ, රිෂාඞ්ගේ කණ්ඩායමේ සහයෝගයෙන් 20 සංශෝධනය 2/3කින් සම්මත කරගත්තා. හකීම්, රිෂාඞ් ඡන්දය දෙන ආණ්ඩුවක ඉන්නේ නැහැ කියලා පුරාජේරු ගහපු අය ඔවුන්ගේ සහයෝගයෙන් 20 සම්මත කරගත්තා. ආණ්ඩුවට මන්ත්‍රීධුර 145ක් ලැබුණා. සහයෝගය දක්වන කණ්ඩායම් එක්ක 150ක් වුණා. කතානායකවරයාත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් ඉවත් වුණාම ඇත්තටම තිබුණේ 148යි. මේ නිසා 2/3 බලය ගන්න බැරුව ආණ්ඩුව පරාජයට පත්විය හැකිව තිබුණා.
අපි මැතිවරණ කාලයේදී ජනතාවට කිවුවේ ඒකාධිපති බලයට එරෙහිව සජිත් පිලට දෙන ඡන්දය විකිණෙන බව. ඒ කිවුවා වගේම ටෙලිෆෝනයෙන් ඡන්දය ඉල්ලපු අට දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීපු නිසා රාජපක්‍ෂලා ගොඩගියේ සජිත්ලාගේ රිෂාඞ්ලාගේ සහයෝගයෙන්. මේ පාවාදීම ගැන අපි ජනතාවට කල් ඇතිව කියපු දේ ඒ විදිහටම සිද්ධ වුණා. බලය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ජාතිවාදය පැත්තකට දාලා තමන්ගේ බල වුවමනාව ඉෂ්ඨ කරගත්තා. ඡන්දය දීපු අයගේ ප්‍රාර්ථනාවන්ට දෙපැත්තේම අය පයින් ගැහුවා. මේ තත්වය ඡන්දදායකයන්ට මැනවින් තේරුම් ගන්න හොඳ උදාහරණයක්. හැමදාම ජාතිවාදී උගුලේ පැටලීමෙන් වැළකෙන්න ජනතාව මේ තත්වය හොඳින් තේරුම් ගන්න. ජාතිවාදී ගොහොරුවේ වැටුණොත් රටටත් ජනතාවටත් සිද්ධ වෙන්නේ විනාශය.
20හි හරයාත්මක ඒකාධිපති බලය ගැන කරුණු යට ගහලා බොරු දේශප්‍රේමයක් ඉස්සරට ගෙන ද්විත්ව පුරවැසිකම ගැන සාකච්ඡාව ඉස්සරහට ගත්තා. විජේදාස රාජපක්‍ෂ මහත්තයා බොරු ලියුම් යවලා, මාධ්‍ය සාකච්ඡා තියලා කිවුවේ 20ට ඡන්දය දෙනවා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමක් කියලා. හෘදයසාක්‍ෂියට එකඟ නැති වැඩක් කියලා. ලැජ්ජාවක් තියෙනවා නම්, කොන්දක් තියෙනවා නම් ද්විත්ව පුරවැසිකමට අදාලව ඡන්දය ඉල්ලපු වෙලාවේ ඒකටවත් විරුද්ධ වෙන්න තිබුණා. පාර්ලිමේන්තුවේදී එක පුද්ගලයෙකුට කණ රත්වෙන්න දීපු පහරකින් ද්විත්ව පුරවැසිභාවයට ගෙනා බොරු දේශප්‍රේමී විරෝධය රෙද්ද පල්ලෙන් බේරුණා. ජනාධිපතිතුමා හැඟීම්බර ඉල්ලීමක් කර අලුත් ව්‍යවස්ථාව හදනකොට එය ඉවත්කරන බව කිවුවා කියලා ඡන්දය ලබාදුන්නා. මේ ගොල්ලන්ට මේවට විරුද්ධ වෙලා පැවැත්මක් නැහැ. මැක්කට බල්ල මැරුණොත් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා හැමදාම මැක්කෝ ටික කරන්නේ බල්ලව රකින එක. හෙට දවසේදී ජනාධිපතිතුමා හැඟීම්බරව කිවුවොත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න ඕනෑ කියලා ඒකටත් ඉඩ දෙනවාද? ඔය හැඟීම්බර කතා ජනතාව අන්දන්න කියන කතා මිස ඇත්ත කතාව නෙවෙයි.
ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කිවුවේ පෙරහැරේ බෙර පැළිලා රෙදි ගැලවිලා යනවා කියලා. 20 සම්මත වුණේ කොහොමද කියලා ඒකෙන් පැහැදිලියි. 20 සම්මත වුණේ කොහොමද කියලා, ජාතිවාදය වපුරපු අය කරගෙන  ගිය  බොරු දේශප්‍රේමීත්වය හෙළිවුණා. සැබෑ දේශප්‍රේමියා ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් 20 ඡන්දයේදී ඔවුන්ගේ සැබෑ නිරුවත පෙන්නුවා. 20වැනි සංශෝධනය පිළිබඳව විවේචන එල්ල කරමින් සිටි එක්සත් ජාතික පක්‍ෂය ඊට විරුද්ධව ඡන්දය දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයවත් පත්කර එවා තිබුණේ නැහැ. ඒ සියලු අවස්ථාවාදීන් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. වරදාන, වරප්‍රසාදවලට මන්ත්‍රීකම විකුණන අය හෙළිවුණා. එක පැත්තකින් පක්‍ෂය සජිත්ට වික්කා. අනෙක් පැත්තෙන් මන්ත්‍රීකම රාජපක්‍ෂවරුන්ට වික්කා. මේක බිස්නස් එකක්. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලංසු තියනවා. ඒ නිසා අද අපේ රටට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ. ඒ නිසා රටේ ජනතාවට අපි කියන්නේ මේ වෙච්ච සිදුවීම් තේරුම් අරගෙන හෙට දවස රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් වෙනස් කරන්න මැදිහත් වෙමු කියලා. 20න් ලබාගත්තු ඒකාධිපති බලය ඔබේ ජීවත්වීමේ අයිතිය, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය, සෞඛ්‍ය අයිතිය, රැකියාවක් කිරීමේ අයිතිය වැනි සියල්ලට එරෙහිව පාවිච්චි වීමට ඉඩ නොදී පෙළගැහෙන්න අපි ඔබට ආරාධනා කරනවා.
ඔබේ අයිතීන් වෙනුවෙන් පෙළගැහෙන්න, දේශප්‍රේමීත්වය වෙනුවෙන් වගේම ජාතික සමගිය වෙනුවෙන් සැබෑ බලවේගයක පෙළගැහෙන්න කියලා ජනතාවට ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment