විපක්ෂයේ 08ක් ඇතුළුව මුලින් විරුද්ධවූ විජේදාසත් 20ට ඡන්දය දෙති

by admindasun
0 comment 71 views

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුල සිටම විරෝධතාව දක්වමින් වෙනමම ව්‍යාපාරයක් ගෙන ගිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරමින් ලිපියක්ද යොමු කළ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුලින් ප්‍රකාශ කළේ තමා මෙම සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටින බවයි.

මේ අතර විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය, අරවින්ද් කුමාර්, ඉෂාක් රහමන්, එම්. එස්. තවුෆීක්, ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරිස් සහ එස්. එම්. රහීම් යන මන්ත්‍රීවරු  මෙම සංශෝධනයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක් වන අතර ඉතිරි බහුතරය රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරන අයවේ.

මෙම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 221ක් පැමිණ සිටි අතර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් ලැබුණි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

ජනාධිපතිි ගෝඨාභය රාජපක්ෂ මහතාද අද දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියද ඡන්දය විමසන අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment