අනුලා බුලත්සිංහල කලා ශිල්පිනියගේ වියෝව වෙනුවෙන් බන්දුල නානායක්කාරවසම් ලියූ ලිපිය.
මීට අවුරුද්දකට විතර ඉස්සර ගල්කිස්සෙ කලා පුරේ ලකී -චන්ද්රා (ලක්ෂ්මන් විජේසේකර – චන්ද්රා කළුආරච්චි) නිවහනෙදිත් , ඊයෙ උඩහමුල්ලෙ , ජය පාරෙ ලූෂන් – අනුලා (ලූෂන් බුලත්සිංහල – අනුලා බුලත්සිංහල ) නිවහනෙදිත් මගේ මනසෙ දෝංකාර දුන්නෙ ඔච්ච්චරයි ! මේ වටිනා කාන්තාවන් දෙදෙනාම මට දැනුනෙ මගෙ සහෝදරියො ගණනට. ඒ දෙන්න කලා
ක්ෂේත්රයෙ අපි ආදරේ කළ දේවල් කළ දෙන්නෙක් වුනා වගෙම ඒ දෙන්නේගෙම ස්වාමිපුරුෂයනුත් නිර්මාණ වලින් වගෙම පුද්ගලයන් ලෙසද අපිට සමීප , අපිට සොයුරු ප්රේමයෙන් එදත් අදත් සිටින උදවිය !
“අපි මැරෙන එක නෙමෙයි පුදුමය , අපි ජීවත් වෙන එකයි පුදුම වෙන්න කාරණය “
කියල අවුරුදු 84 ක් වෙන මගේ ගුරුතුමා කියන දේ නැවත නැවත මට මතක් කර දෙන්නෙ මේ ආදරනීයයන්නෙ වියෝගය !
අපට මේවා නතර කරන්න බැරි උනත් අපි ඔවුන් ඇසුරු කරද්දි , කවදා හෝ ඔවුන් නැති ලොවක අපට ඉන්න වෙයි කියල නං හිතුනෙම නෑ ! අමරදේවයන් අපට වඩා කෙතරම් වැඩිමහල් කෙනෙකු උනත් , තුන් හිතකින්වත් අපට හිතුනද අමරදේව කියන දෙවියගෙන් තොර ලෝකයක අප ඉඳී කියල ! නමුත් ඒක එහෙම වෙනවා .. එක වරක් දෙකක් නෙමෙයි සිය දහස් වාරයක් !
ප්රේමකීර්ති , මාලිනි බුලත්සිංහල , කපුගේ , හෙන්රි ජයසේන , මර්සි , ආරියවිමල් , මර්වින් පෙරේරා , රන් බන්ඩා , ධර්මසිරි ගමගේ , ග්රැන්විල් , මනෝ , තිස්ස අබේසේකර , කුසුම් පීරිස් , එච් එම් , තිස්සසිරි , අජන්තා , අබේ අය්ය ……. මේ වගේ අපි ආදරේ කළ වගෙම යම් යම් පමණින් ආදරණීයව ඇසුරු කළ කී සීයක් දැන් හීනයක් වගේ වෙන් වී ගිහින්ද ?
මම උසස් පෙලේදී ලියූ කවිපොතට පසුවදනක් ගන්න ගියේ ලූෂන් අය්යව හමුවෙන්න ගුවන් විදුලියට
SLBC විමසීම් කවුන්ටරෙන් නම announce කලාම ආව පොඩිකාලේ රතුහැට්ටකාරි දවසෙ දුටු වගේ කෙනෙක්
“ලූෂන් අය්යද ?” වට පිට බැලු කෙනාගෙන් ඇහුවම ඔහු කීව ” නෑ මම ලූෂන් නෙමේ , ලූෂන් OB එකක් ගිහින් “
කියල , ඔහු සුහදව කතා කළ නිසා මා ඇහුව ඔහු කව්ද කියල . ” මම ෆීලික්ස් ඇන්ටන් ” කියල සුහදව කීව
ඒ විධියට ලූෂන් අය්යව මට මඟ හැරිල 1983 දී තමා කොග්ගල පහන් වැටේ වික්රමසිංහයන්ගෙ මහ ගෙදරදි මම ඔහුව අඳුන ගන්නෙ ! ඊට පස්සෙ ජය පාරේ ලුෂන් අය්යා – අනුලක්කලගේ ගෙදර අපේ ගෙදර වගෙත් , අපේ ගාල්ලෙ සහ කපුගම පොල් ඉන්දුහේන ගෙදර ඔවුන්ගේ ගෙදර වගෙත් දැනුනේ ! මාතර ඇවිත් , පරණ සමරුව බලද්දි මට ඇතිවුන දුක කියා නිමකළ නොහැකියි ! අපේ ගෙදර වත්ත පහල සීත දිය පිරුණු ළිඳෙන් නාලා පොල් කොටේක වාඩිවෙලා ගත්ත පින්තූර , මගේ මඟුල් දවසෙ අනුලක්කා , ඉන්ද්රචාපා එක්ක බුදුන් වඳින මේ දෑතින් ගයපු පින්තූර දැක්කම වාවගන්න බැරි වුනා , මෙහෙම හරි අපට කාලයක් තිබුන කියල මම හිත හදා ගන්න මහන්සි ගත්ත
අනුලා බුලත්සිංහල සුවිසෙස් අයිකනයක් වෙන්නෙ ඇගේ මිහිරි හඬ , ගායන කුසලතාව වගේම අද්විතීය රංගන ප්රතිභාව නිසා ! ගම්පෙරලිය ටෙලි නාටකේ රූ ගත කරද්දී අනුලක්කා එක්ක පෑ ගණන් පරණ කතා අහ අහ හිටිය මහා කප්පින්න වලව්වේ , චන්ද්ර අක්කා වගෙම අනුලක්කත් කතා කියන හැටි අහන්න ලස්සනයි ! ” තාරාවෝ ඉගිලෙති ” නාට්යය එක්ක ඒ බස් එකේ මං පිරිස එක්ක ගියා ! ජැක්සන් සහ මම නිදා ගත්තෙ හර්ෂගේ ඉස්සරහ කාමරේ ! කොච්චර පුංචි , ලස්සන , සුහුඹුල් ලෝකයක් තුළද අපි ගැලී හිටියෙ ! දැන් සේරම මීදුමක් !
අවුරුද්දකට විතර ඉස්සර ලකී අය්ය තනිවුනු කලාපුරේ සාලෙ මයි ඊයෙ ලූෂන් අය්ය එක්ක මම තනි වුනේ ! ඒ නිසයි මම කීවේ අර විධියට …
“මිනිස්සු මෙලොව තනි කරල ගැහැණු මෙලොව හැර යනව “
ඊයෙ ලූෂන් අය්ය එක්ක කතා කරමින් , දේවල් මෙනෙහි කරමින් දොම්නස බෙදා ගෙන ඉන්න වෙලාවෙ ඔහුව අපහසුතාවයට පත් කරමින් ඇතැම් නාලිකා වලින් ගෙදරට එන්න අහද්දි මට හරි තැවුලක් ඇති වුනා. කැමරා , ලයිට් අරගෙන කට්ටිය පිටත් වෙලා , ලූෂන් අය්යා කරුණාවෙන් එය නතර කළා ! ඒ වෙලාවේ මට හිතුන බුද්ධි අය්යා ( ගලප්පත්ති ) අනුලක්කා ජීවත්ව සිටියදී ලියු අවසන් ලිපිය , එය ඔහු මුහුණු පොතේ දමාවී ( eya dan muhunu pothe ohu damala ) .
අවසන් වශයෙන් අනුලක්කා වගෙම අපිව අතහැරල ගිය බොහෝ ආදරණීයයන් ගැන කියන්න තියෙන්නෙ මේ කියමන !
” Death is not the greatest loss in life. The greatest loss is what dies inside us while we live “
” මරණය නොවේ අප ලබන මහා අහිමිවීම ; අප ලබන මහත් වූ අලාභය තමා ,අප ජීවත් වෙද්දී අප ඇතුළත මිය යන දෙය “
ඊටත් පස්සෙ , අන්තිමට කියන්න තියෙන්නෙත් මම මාතර එද්දී ඔලුවෙ නතර කරන්න බැරිව ඇහුන දේ
“මිනිස්සු මෙලොව තනි කරල
ගැහැණු මෙලොව හැර යනව ”
බන්දුල නානායක්කාරවසම්
