අතීතයේ යටත් විජිත රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පාලනය කළ පෘතුගීසී, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින් සිය බලය තහවුරු කර ගැනීම සඳහා වසර 433 කට පෙර ඉදි කළ මෙම ගොඩනැගිල්ල ඔවුන්ගේ බඩු ගබඩාව ලෙස පවත්වාගෙන ගොස් ඇත.
ගාල්ල කොටු පවුරේ බාලදක්ෂ මාවතේ පිහිටි පිවිසීමේ දොරටුවේ කඩා වැටීමට ආසන්නව තිබූ යකඩ දොරවල් දෙක ගලවා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සංරක්ෂණය කිරීම අරඹා ඇත. ලන්දේසින් විසින් බලය ලබාගත් පසු කොටු පවුරට අල්ලා ලංකාවේ දිගම ගොඩනැගිල්ල ලෙස ඉදිකළ මෙම ගබඩා ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අයත් වූ පුරාවිද්‍යා ස්මාරකයකි.
මෙම දොරද එම වකවානුවේ දී සවිකර ඇති අතර මෙහි දොර අල්ලු දිරා තිබිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළ අතර එහි සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට මේ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල ගාල්ල ව්‍යාපෘතියට පැවරුණි.
2004 වර්ෂයේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ගාලු කොටුවට දැඩි ලෙස හානි සිදුවිය. පසුකාලීනව නෙදර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වුණු ගාලු කොටුව සංරක්ෂණ කටයුතු 2006, 2007 සහ 2008 යන වර්ෂවල ක්‍රියාවට නැංවිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම කටයුතු සඳහා දායකත්වය සැපයූ අතර, මෙහිදී කොටු දොර ඇතුළත් කොටස ද සංරක්ෂණය කරන ලදී.
මෙහි එක් දොර පියනක උස අඩි 13ක් වන අතර පළල අඩි 8.5 ක් වේ. එවකට වම්පස ඇති දොර පියන දැඩි ලෙස හායනයට ලක් වී තිබිණි. ගුළු ඇණ හා දොර අල්ලු දිරා තිබූ අතර ගාලු කොටුවට වාහන ඇතුල් කිරීමේ දී මෙම කොටසෙහි ගැටීම මෙහි හායනයට මූලික හේතුව බව රසායන සංරක්ෂණ විශේෂඥයන්ගේ නිගමනය විය. මීට අමතරව මුහුදු සුළං ඛාදනය නිසා ද, මෙම දොරටුව දැඩි ලෙස හායනයට ලක් වී ඇත. දැව තට්ටු දෙකකින් යුතුව මෙම දොරපියන් නිර්මාණය කොට ඇත. යකඩ බෝල්ට් ඇණ වලින් ලී එකිනෙකට සම්බන්ධ කොට ගෙන ඇත. 2008 වර්ෂයේ දී මෙම කොටු දොර පියන් දෙක ගලවා සංරක්ෂණය කරන ලදී. මෙහි දී හායනය වූ පැරණි ලී කොටස් වෙනුවට අලුත් දැව කොටස් ආදේශ කරන ලදී. පැරණි යකඩ ඇණ සංරක්ෂණය කොට භාවිත කිරීමට අමතරව ඊට සමාන අයුරින් නිමවන ලද යකඩ ඇණ සංරක්ෂණයේ දී ආදේශ කරන ලදී .
දුර්වර්ණ ව පැවැති දොරෙහි වර්ණ කොටස් පරීක්ෂාවට ලක් කළ අතර සාදිලිංගම් සහ ලින්සිඩ් ඔයිල් වලින් දොර වර්ණ ගන්වා තිබුණ බවට මෙහි දී හෙළිවිය. ඕලන්ද වාර්තාවලට අනුව සාදිලිංගම් සහ ලින්සීඩ් ඔයිල් භාවිත කර වර්ණ සාදාගෙන ඇත. මේ අනුව 2008 වර්ෂයේ දී සාදිලිංගම්, ලින්සීඩ් ඔයිල් සහ පොල් කටු අඟුරු (කළු වර්ණය සඳහා) වලින් එම දොරෙහි වර්ණයට සමාන වන අයුරින් වර්ණ ගන්වා සංරක්ෂණය කරන ලදී.
මධ්‍යම සංස්කෘතික අරමුදල ගාල්ල ව්‍යාපෘතිය මගින් මේ වන විට ද අවශ්‍ය වාර්තා සහ ඇස්තමේන්තු සකස් කර එහි ඉදිරි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට අපේක්ෂිතය.