මුදල් නෝට්ටු සිතුවම් කළ ලකී සේනානායක දිවිසැරිය නිම කරයි

by admindasun
0 comment 136 views

කෘතහස්ත කලාකරු ලකී සේනානායක මහතා (30 දා) අභාවප්‍රාප්ත වී ඇත.

හෙතෙම ප්‍රකට පරිසර ලෝලියකුද වේ.

චිත්‍ර ශිල්පියකු ලෙස ලකී සේනානායක මහතා දැක්වූ දක්ෂතාවන් ජගත් මට්ටමේ ඉහළ ඇගයුමට ලක්ව ඇති අතර, ඔහු ජාතික මට්ටමෙන් දැක්වූ ඇතැම් දක්ෂතා ද කිසිවෙකුටත් සමකළ හැකි නොවීය.


එනම්, ශ්‍රී ලංකාවට ආවේණික හා දේශීය වන සතුන් සහ ශාක ඇසුරෙන් 1979 වසරේදී රජය මගින් ප්‍රකාශයට පත්කළ මුදල් නෝට්ටු ශ්‍රේණිය සඳහා සියලුම චිත්‍ර නිර්මාණය කරන ලද්දේ ලකී සේනානායක මහතා ය. රුපියල් 2, 5, 10, 20, 50, 100 යන සියලුම නෝට්ටු සඳහා ඔහු විසින් අඳින ලද චිත්‍ර භාවිත කරන ලද අතර, මෙම මුදල් නෝට්ටු ශ්‍රේණිය සහ එහි නිර්මාණ ශිල්පියා ලෙස ලකී සේනානායක නමද ජාත්‍යන්තර පිළිගැනීමටද ලක් විය.

එනම්, ලෝකයේ පවතින විසිතුරුම මුදල් නෝට්ටු පිළිබඳව විදේශ ලේඛකයකු වන මාර්ටින් මොනෙස්ටියර් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ ඉහත මුදල් නෝට්ටු ශ්‍රේණිය ද ඇතුලත් කර ඇති අතර, එහි ලකී සේනානායක මහතාගේ විස්තරයකට අමතරව මේ වැදගත් ග්‍රන්ථයේ මුල් කවරය සැරසීම සඳහාද යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකානු රජය මගින් ප්‍රකාශිත, ලකී විසින් අඳින ලද රුපියල් 50 නෝට්ටුවකිනි.

ලකී සේනානායක මහතා ලෝහ කැබලි පුරුද්දා නිර්මාණය කරන අමුර්ත කලාව ( Abstract Art) සඳහාද ප්‍රකට වූවකු වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගර්භය මධ්‍යයේ වහළයේ සවිකර ඇති එම අමුර්ත නිර්මාණය ද ඔහු විසින් සිදුකරන ලද්දකි.
එසේම, වෘක්ෂ රූට් බෝල් ක්‍රමයට ගලවා නැවත සිටුවීමේ ක්‍රමවේදය පිළිබඳව හසල දැනුමකින් ද යුතුවූ ලකී සේනානායක මහතා දිවංගත ආර්. ප්‍රේමදාස මහතාගේ ගම් උදා සංකල්පයේ සහ කොළඹ ඇතුළු නාගරික වටරවුම් යනාදී උද්‍යාන සැකසුම් හා විද්‍යාත්මක ගස් සිටුවීමේ කලාව සඳහාද පෙරමුණ ගෙන කටයුතු කළේය.

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී ෆ්ලොරන්ස් සේනානායක මැතිණියගේ දෙටු පුත්‍රයාද වන අභාවප්‍රාප්ත ලකී සේනානායක කලාකරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සිදුකිරීමට නියමිතව ඇත.
ජගත් කණහැරආරච්චි

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment