අද දිනයේදීද නව කොවිඩ් රෝගීන් 90 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම රෝගීන් සියල්ල මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර අද දිනයේදී කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට හදුනා ගැණුනු බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරානි ප්‍රියංගනී පැවසුවාය.
පසුගියදා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවය කරන ලද සේවිකාවක් කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම නිසා ඒ ආශ්‍රිත සෞඛ්‍ය සේවක සේවිකාවන් 90කට පමණ කරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම වෛද්‍යවරුන්ට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබුණු බවත් ඇය කියා සිටියේය.
කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පැවසුවේ මෙසේ කොවිඩ් ආසාධනය වූ එක් වෛද්‍යවරියකගේ ස්වාමි පුරුෂයාට සහ දරුවාටද කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් අයිඩීඑච් රෝහල වෙත ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කළ බවයි.
තවද ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කදාන ඩිපෝවේ සේවය කළ සේවකයන් 12 දෙනෙකුටද කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව අද දිනයේදී තහවුරු විය. එම සේවකයින් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර එහිදී වෛරසය ආසාධනය වී ඇති බවට සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.
කැළණි ටයර් ආයතනයේ සේවක කරන ලද සේවකයන් දෙදෙනෙකුටද වෛරසය ආසාධනය වී ඇති අතර ඉන් එක් අයෙකු හෝමාගම සහ අනෙක් පුද්ගලයා කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් විය.
මේ අතර පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොවිඩ් – 19 ආසාධනය වූ ශිෂ්‍යාව සමග එකට නවාතැන් ගත් අනෙකුත් ශිෂ්‍යාවගේ පළමු පීසීආර් පරීක්ෂණය මගින් කොවිඩ් ආසාධනය වී ඇති බවට තහවුරු වුවද දෙවන පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ එම ශිෂ්‍යාවට කොවිඩ් ආසාධනය නොමැති බවයැයි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි.
එසේම එම ශිෂ්‍යාව සමග කටයුතු කළ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 09 දෙනෙකු එම විශ්වවිද්‍යාලයේම වෛද්‍ය විද්‍යා පීඨය මගින් පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ අතර එමගින් ඔවුන්ට කොවිඩ් නොමැති බව තහවුරු වූ බවත් මහාචාර්ය ලියනගේ පවසයි.
තවද ජාතික සංවර්ධන බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ සේවය කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සේවකයෙකුටද කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු වීම නිසා අද දින එම ශාඛාව තාවකාලිකව වසා දැමුණු අතර විෂබීජහරණයෙන් පසු යළි එම ශාඛාව හෙට දිනයේදී විවෘත කිරීමට නියමිත බවද බැංකු පරිපාලනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් භාණ්ඩ පර්යන්තයක සේවයේ යෙදී සිටි කටුනායක ගුවන් තොටුපළේ සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් – 19 වැළදී ඇති බවට අද දිනයේදී තහවුරු විය.
මේ අතර කොවිඩ් – 19 පැතිරීමේ අවදානම හේතුවෙන් ඊයේ දිනයේදී වසා දැමුණු මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙක අද දින සවස 6.00 සිට යළි විවෘත කෙරන බවත් කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
මේ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1397ක් වන අතර ඒ සියලු දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අය බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.
