2019 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවාගැනීමේ කඩයිම් ලකුණු සීමා තවමත් ප්‍රකාශයට පත්කර නොමැති වීමෙන් සිසුන් මහත් අසීරුතාවට පත්වී ඇති බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය පැවසුවේ 2019 අගෝස්තු මස පැවැත්වූ උසස් පෙළ විභාගය අවසන්ව මාස 13කට අධික කාලයක් ගතව ඇතත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තමන් සුදුසුකම් ලබා ඇත්ද යන්න තහවුරු වීමක් නොමැති නිසා අද වන විට එම සිසුන් මහත් පීඩාවකට පත්ව ඇති බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව අධ්‍යාපන අමාත්‍යවරුන්ද ඇතුළුව මෙරට අධ්‍යාපන බලධාරීන් විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම නිසා වසරක් පාසා උසස් පෙළ සමත් සිසුහු මෙම ගැටලුවට මුහුණදෙමින් සිටිති. මෙවර එය තවත් සංකීර්ණ වී ඇත. එයට හේතුව වන්නේ පසුගිය 2019 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සෑම විෂය ධාරාවක්ම පැරණි සහ නව නිර්දේශ සිසුන් ලෙස කාණ්ඩ 2ක් යටතේ පෙළගස්වා ප්‍රතිඵල නිකුත් කිරීමයි. ප්‍රතිඵල නිකුත්කල ආකාරය නිවැරදි වුවත් පැරණි සහ නව නිර්දේශ ලෙස එක් එක් කාණ්ඩයෙන් එක් එක් දිස්ත්‍රික්ක සඳහා කොපමණ සිසුන් බඳවා ගන්නේදැයි දළ වශයෙන් හෝ අනුමාන කිරීමේ හැකියාවද අද සිසුන්ට නැතිවී ඇත.
මෙලෙසම මතුවී ඇති තවත් ගැටලුවක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට දෙවනුව ඇති, එනම් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලබන සිසුන් ඇතුලත් විය හැකි පාඨමාලා සඳහා ඇතුලත්කරගැනීම් සම්බන්ධව මේ වනවිටත් කටයුතු ආරම්භ වී තිබීම බවත් දේශප්‍රිය මහතා පවසයි.
උසස් තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) , ජාතික තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලා (NDT) ආදී පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම් දැනටමත් ආරම්භකර ඇති අතර මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමෙන් පසු තමන් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව දැනගැනීමට හැකි වුවද, එම ලියාපදිංචිය අවලංගු කර සරසවියට ප්‍රවේශ විය නොහැකි බවට නීතීමය ප්‍රතිපාදන පවතින බැවින් සිය තෝරාගැනීම කුමක් විය යුතුද යන්න පිළිබඳව අවසන් තීන්දුවක් ගත නොහැකිව සිසුන් අසරණභාවයට පත්ව ඇති බව ඔහු කියා සිටියේය.
