චීනයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ චීන කොමිනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යැං ජී චින් මහතා ඇතුළු පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියේය.
හිටපු විදේශ අමාත්‍යවරයා ඇතුළුව මෙම දූත පිරිස 25 දෙනෙකුගේ කණ්ඩායමකින් සමන්විතයි.
විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි එම දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට පිවිසි අතර හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
බීජිං ගුවන් සේවයට අයත් ඔවුන් පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූයේ ප. ව. 7.42ට පමණය.
කෙසේ වෙතත් එම දූත පිරිසට පීසීආර් පරීක්ෂණ සිදු නොකෙරුණු අතර එරටදීම පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් එන්නත් කරගෙන ඔවුන් පැමිණ ඇති බවත් රජය පවසයි.
එම දූත පිරිස මේ වන විට කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක නවාතැන් ගෙන සිටිති.
හෙට පස්වරු 04ට එම දූත පිරිස යළි දිවයිනෙන් පිටත්ව යන තෙක් සිදු කරනු ලබන සියලු කටයුතු අතිශයින්ම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සිදු කෙරෙන බවත් විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන් විය.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙවැනි අධි අවධානම් කාලයකදී මෙවැනි දූත පිරිසකට කිසිදු පරීක්ෂණයකින් තොරව මෙරටට ඇතුළු වීමට අවසර ලබා දීම අතිශය අනතුරුදායක බවයි.
