20 සංශෝධනයෙන් ගෙනෙන්නේ මේ රටේ කවුරුවත් ඉල්ලපු දේවල් නොවන අතර ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරන්න ජාතික විගනණ කොමිසම, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වසා දැමීමට එමගින් යෝජනා කිරීම මෙරට කිසිදු කෙනෙකු අනුමත නොකරන බව හිටපු ආණ්ඩුකාර සහ දේශපාලන ක්‍රියාකාරී රජිත් කීර්ති තෙන්තකෝන් මහතා පැවසුවේය.
ආණ්ඩුවේ නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අසංග නවරත්න, විමල් වීරවංශ පමණක් නොවෙයි රාජපක්ස පවුලේ සමීපතම මන්ත්‍රීවරු පවා මේ සංශෝධනයට විරුද්ධ බවත් ඔහු කියා සිටියේය.
නාරාහේන්පිටදී මාධ්‍ය හමුවක් අමතමින් තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස සම්ප්‍රදායක් ලෙස පත් කරනු ලැබූවේම අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් දෙදෙනා යි. මේ රටේ කවුරුත් කණිෂ්ඨ විනිසුරුවරු ‘අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කරන්න කියලා ඉල්ලා තියෙනවා ද? මෙවැනි කටයුතු වලින් සිදුවෙන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු ගෝඨාභය ජනාධිපතිවරයාත්, මේ රටේ අදටත් ජනප්‍රියම දේශපාලනඥයා වන මහින්ද රාජපක්ෂ මහතාත් දේශපාලන විනාශ කිරීමට පාර කැපීම පමණයි.
20 වගේ බලකාමී ලියවිල්ලක් ලියන්නට පුළුවන් කරුණා – පිල්ලෙයාන් වගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කළ අයෙකුට පමණයි. ආණ්ඩුක්‍රම විශාරදයෙකුට, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර තුලන හා සංචරණ ක්‍රියාවලිය ගැන විශ්වාස කරන කිසිවෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් ලියන්නේ නෑ. වත්මන් ව්‍යවස්ථාවේ 33 වගන්තියේ තියෙනවා, ජනාධිපතිවරයා ගේ කාර්යය විය යුත්තේ, ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීමට සඳහා උචිත වාතාවරණය නිර්මානය කිරීම කියලා.
මේ රටේ කවුරුත්, ජනාධිපතිවරයා ‘ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවයෙන්‘ ඉවත් කරන්න ඉල්ලා සිටියා ද?
නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීමට උචිත වාතාවරණය නිර් මානය කිරීමෙන් ඉවත් කරන්නට යෝජනා කළා ද? මේ වගේ යෝජනාවලින් ගම්‍ය වන්නේ කුමක් ද? ජනාධිපතිවරයා මෙවැනි ‘ජාතික ප්‍රතිසන්ධානයට, ජාතික ඒකාබද්ධතාවයට, ‘නිදහස් හා සාධාරණ මැතිවරණවලට‘ අකමැති බව කියන්නට නේද?
අදත්, මේ රටේ ජනප්‍රියම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බව එතුමාගේ විරුද්ධවාදීන් පවා පිළිගන්නවා. වරක් අගමැති ආර්.ප්‍රේමදාස මහතා කිව්වා, තමන් ගේ අගමැතිකම පියන් තනතුරක් වගේ බව. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාවේ පියන් අගමැති, විධායක අගමැති මට්ටමට ගෙනාවේ 19 යි. අගමැතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය, කලින් හිටපු රත්නසිරි වික්‍රමනායක, දී.මු. ජයරත්න ට විතරක් නෙවෙයි, අර ලෙඩ ඇදේ හිටපු සිරිමා බණ්ඩාරනායක මහත්මියටත් වඩා අඩු කරන්න යෝජනා කිරීමෙන් මේ රටට සිදුවන යහපත කුමක් ද? අගැමතිවරයාට විතරයක් නෙවෙයි කැබිනට් මණ්ඩලයට තිබෙන බලතල විශාල ප්‍රමාණයක් 20 සංශෝධනයෙක් කපා දමා තිබෙනවා. 20 සම්මත වුනොත්, මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලය නැවත ‘පියන්‘ ගේ තත්වයටම වැටෙනව. මේ රටේ කවුරුත් අගමැති මහින්ද මහත්තයා පියන් කෙරෙක් කරන්න ඉල්ලලා තියෙනවා ද?
මේ රටේ කවුරුවත්, ඇමති මණ්ඩලය 30 ට වැඩිය අසීමිතව වැඩි කරන්නට ඉල්ලනවා ද? රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු එක සැරයක් හිටියා වගේ සීයයට වැඩි ගානක් පත් කරන්න ඉල්ලනවා ද? නැතිනම්, ආමත්‍ය මණ්ඩලය අඩු කරන්නට ද ඉල්ලන්නේ? 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා විනාශ වුනේ අති විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට එල්ල වූ ජනතාව විරෝධය නිසා කියලා 20 සංශෝධනය ලියපු අයට අමතක වෙලා තියෙනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුද්දකට පස්සේ පාර් ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. 70 (1) වගන්තියෙන්, අවුරුදු 5 කින් විිසුරුවන්න ජනතාව ඡන්දය දෙන ආණ්ඩුව අවුරුද්දකට පස්සේ විසිරුවන්න ජනාධිපතිට බලය දෙන්න මේ රටේ කවුරුහරි ඉල්ලුවා ද? මේවා කාගේ උවමනාවට ලියන දේවල් ද?
