හම්බන්තොට දේශපාලන හිතවතුන් රැකියා පුහුණුවට

by admindasun
0 comment 199 views

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබූ සංවර්ධන නිලධාරීන්ගේ නම් කීපයක් ඉවත් කර හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් දේශපාලන හිතවත්කම් මත පිරිසක් පුහුණුවට යැවීමට කටයුතු කර ඇති බව සංවර්ධන නිළධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාද ලිඛිතව දැනුවත් කළ බවද ඒ මහතා කියා සිටියේය.

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් අනුයුක්ත කළ සංවර්ධන නිලධාරී 2020. 08. 13 දින සිට දින 10 ක පුහුණුවක් සඳහා පිටත්ව යාමට එක් දිනක් තිබියදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නිර්දේශිත නම් 3 ක් ඉවත්කර 2020. 08. 11 දින හදිසියේ ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයින්ගේ ඉල්ලීම මත දේශපාලන හිතවත්කම් මත සංවර්ධන නිලධාරීන් 3 දෙනෙකු හදිසියේ නිර්දේශ කර පුහුණුවට යොමුකර ඇති බව සූරියආරච්චි මහතා පවසයි.

විධිමත් නිර්දේශයන් සහිතව පූර්ව සූදානමක් ඇතිව පුහුණුව සඳහා තෝරාගෙන තිබුනේත් සංවර්ධන නිලධාරීන්ම වන අතර දේශපාලන උවමනාව මත අවසාන මොහොතේ නම් සංශෝධනය කර පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇත්තේද සංවර්ධන නිලධාරීන්ම වීම බැලූ බැල්මට ගැටලූවක් නොවන බවද ඔහු කියා සිටියේය.

නමුත් මෙවැනි සාමාන්‍ය ක‍්‍රියාවකදී පවා දේශපාලන හිතවත්කම් මත සංවර්ධන නිලධාරීන් තේරීමකට ලක්වීම නිවැරදි පූර්වාදර්ශයක් නොවන අතර සිදුව ඇති අක‍්‍රමිකතාවය පිළිබඳව තම සංගමයේ බලවත් විරෝධතාවය ප්‍රකාශ කරන බවත් සූරියආරච්චි මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment