09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කර ගැනීම සදහා අද දින දිවයින පුරා මධ්‍යස්ථාන 12,985කදී පැවැති ඡන්ද විමසීමේදී 70%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.
කොවිඩ් – 19 වැනි වසංගතයක් පවතින තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 100%ක් ඡන්දය ප්‍රකාශ කිරීමක් ලෙස සැලකිය හැකි බවත් ඔහු කියා සිටියේය.
09 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් 225ක් පත් කර ගැනීම සදහා මෙම මහ මැතිවරණයේදී පිළිගත් දේශපාලන පක්ෂ 20කින් සහ ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයන් 7452 දෙනෙකු තරග කළ අතර ඡන්ද විමසීම දිවයින පුරා මධ්‍යස්ථාන 12,985කදී උදේ 07 සිට සවස 05 දක්වා පැවැත්විණි.
තව දුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය පැවසුවේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට (06) උදෑසන 8.00ට ආරම්භ කරන අතර පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 3.30ට පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
රාත්‍රි 12 පමණ වන විට ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර එසේ නොහැකි වුවහොත් 07 වනදා උදේ 06 වන විට සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් කරන බවද ඔහු කියා සිටියේය.
එසේම 07 වනදා සවස 06 වන විට සියලු මනාප ප්‍රතිඵල නිකුත් කර අවසන් කරන බවත් ඔහු කියා සිටියේය.
මහින්ද දේශප්‍රිය මහතා තව දුරටත් පැවසුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැසට් කිරීමද 10 වනදා වන විට අවසන් කරන බවයි.
රජය විසින් මේ වන විට දැනුම් දී ඇති පරිදි අගෝස්තු 20 වන දින පළමු වරට නව පාර්ලිමේන්තුව රැස්වීමට බලාපොරොත්තු වේ.
