මෙවර අ.පො.ස උ/පෙළ විභාගයට අගෝස්තු මස පෙනි සිටීමට නියමිතව සිටි සිසු දරුවන්ට කොරෝනා වසංගතය හා පසුගිය වසරේ සිදු වු පාස්කු ප‍්‍රහාරය නිසා අහිමි වු මාස 05ක පමණ අධ්‍යයන කාලසීමාව නැවත සැලසුම් කර ගැනීම සඳහා වන සාධාරණ කාලයක් ලබා දී විභාගයට දින නියම කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියද මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
විභාග දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී කල් දැමු මෙම විභාගය පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගෙන් හා දෙමව්පියන් සමඟ සාකච්ඡා කර කඩිනමින් තීරණයක් දැනුම් දෙන බව පැවසුව ද එය තවත් සතියකින් කල් දමා ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර ඇතිි බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
මෙම තත්වය, පටු දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගනිමින් පසු ගිය මැතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ පාර්ශවය වෙනුවෙන් මැදිහත් වු උපකාරක පන්ති ගුරුවරුන් කීප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම ගැටලූ පිලිබඳව සිදු කළ සාකච්ඡාවට අධ්‍යාපන ලේකම් මෙන්ම විභාග කොමසාරිස්වරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් කැඳවමින් ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය කෙලෙසීම පිලිබඳව තම සංගමය විරෝධය පල කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේය.
තවද අධ්‍යාපන අමාත්‍යංශය මෙම අවස්ථා යොදා ගනිමින් මාධ්‍ය සංදර්ශන මෙන්ම පදනම් විරහිත සමීක්ෂණ පවත්වමින් කල් මැරීම මෙවර විභාගයට පෙනී සිටින ලක්‍ෂ 4 කට ආසන්න වන සිසු දරුවන්ට වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදු කරමින් සිටිනුයේ බලවත් අසාධාරණයක් බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ පාසල් හා උපකාරක පන්ති සම්පූූර්ණයෙන් වසා දැමීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදන හා චක‍්‍රලේඛ වලට අනුව අන්තර්ජාල පහසුකම් යටතේ සිදු කළ අධ්‍යයන කටයුතු ඉතා අඩු සීමාවක සිදු වු නමුත් සාතිශය බහුතරයක් සිසුන් හා ගුරුවරුන් අදාල ක‍්‍රියාවලියකට අනුගත නොවු බවද ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දෙයි.
එහෙයින් තව දුරටත් පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම සිසු දරුවන්ව පීඩාවට පත් නොකොට ඔවුන්ගේ අතපසු වු අධ්‍යයන කටයුතු සැලසුම් කර ගැනීමට සාධාරණ අවස්ථාවක් හා ලබා දෙමින් අදාළ විභාගයට කඩිනමින් දින නියම කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
