විදෙස්ගත ලාංකිකයන් ලංකාවට ගෙන්වීම බරපතල ජාවාරමක් බවට පත්ව තිබේ. ආණ්ඩුව ප්‍රමුඛතාව දෙනු ලබන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ට නොව අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ ශිෂ්‍යයන්ට බව ජුනි 10වැනිදා විදේශ සබඳතා පිලිබඳ අතිරේක ජනාධිපති ලේකම්, අද්මිරාල් ජයන්ත කොලඹගේ පැවසීය. මේ වනවිටත් මුදල් නැති නිසා ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග ශ්‍රමිකයන් අසරණව සිටී. ඒ අතර පෞද්ගලිකව මුදල් දී ලංකාවට පැමිණීමට උත්සාහ කරන්නන් විශාල සූරාකෑමකට ගොදුරු කර ගන්නා ජාවාරමක් රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වේ.
මේ සඳහා වන හොඳම උදාහරණය මැලේසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින ලාංකීය සිසුන්ට ජුලි 12වැනිදා මත්තලට පැමිණෙන ගුවන්යානය සඳහා ලබා දී ඇති වියදම් ඇස්තමේන්තුවයි. ඔවුන්ට ගුවන් ගමන් ටිකට්පත සඳහා 108,300ක් නියම කර ඇත. ලංකාව තුළ නොමිලේ සිදු කරන බවට පොරොන්දු වූ PCR පරීක්ෂණය සඳහා රුපියල් 12,500ක් වැය කළ යුතුව ඇත. මත්තල සිට වස්කඩුව දක්වා රට තුළ ප්‍රවාහනයට එක අයෙකුගෙන් රුපියල් 15,000ක් අය කෙරේ. (සාමාන්‍ය බස් රථයක් මත්තල සිට කළුතරට පැමිණීමට රුපියල් ලක්ෂ තුනක් පමණ අය කරන බව පෙනේ) ලංකාවට පැමිණි පසුව ඔවුන් කළුතර, වස්කඩුව, Citrus හෝටලයේ සති දෙකක් නිරෝධායනය විය යුතු අතර හෝටලයේ කාමරයක් සඳහා දෛනික ගාස්තුව රුපියල් 12,500කි. සාමාන්‍යයෙන් මේ දිනවල හෝටල් කාමර වල මිළ පහත වැටී ඇති අතර කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව Citrus හෝටලයේ සහ තවත් හෝටල් කිහිපයක කාමර සංචාරකයන් උදෙසා රුපියල් 6000ක මුදලටද ලබාදෙන ලදී. නිරෝධායන ක්‍රියාවලියේ මුවාවෙන් ආණ්ඩුවේ අනුග්‍රහයද සහිතව හෝටල් හිමියන් පාරිභෝගිකයන් ගසාකෑම ආරම්භ කර තිබේ. මේ අනුව සති දෙකක් සඳහා නිරෝධායන ක්‍රියාවලියට රුපියල් 175,000ක් වැය කිරීමට සිසුන්ට සිදුවේ.
අතේ මුදල් නැති, රැකියා අහිමිවූ මැදපෙරදිග ශ්‍රමිකයන්ට කාන්තාරයේ මිය යාමට සලස්වා, සිසුන්ට ප්‍රමුඛතාව දෙන බව බලධාරීන් පවසන්නේ කුමක් නිසාදැයි ඉතා පැහැදිලිය. විදෙස්ගත ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස සංවිධානාත්මකව අරගලය ආරම්භ වී ඇති අතර, ලංකාවට ගෙන්වා ගන්නා අය මේ ආකාරයට ගසාකෑමේ අසාධාරණයට එරෙහිවද සංවිධානාත්මකව නැගී සිටිය යුතුය.
පුබුදු ජයගොඩ
අධ්‍යාපන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
