පසුගිය වසරේ සිදුවුණු පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික පල්ලිවලට සහ ජනතාවට සහන සැලසීමට මුස්ලිම් සංවිධානයක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා කියා සිටියේය.
එම මුදල ඩුබායිහි පිහිටි මුස්ලිම් වර්ල්ඩ් ලීග් සංවිධානය විසින් ලබාදුන් අතර ඒ සදහා අදාළ චෙක්පතක අනුරුවක් හිටපු ජනාධිපති සිරිසේන මහතාට නෙළුම් පොකුණ රගහලේදී පැවැති උත්සවයකදී ලබා දුන් බවත් ඔහු කියා සිටියේය.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට ලබාදුන් ආධාර සහ පල්ලිවලට ලබා දුන් ආධාර සම්බන්ධව සාක්ෂි විමසීමේදී කරුණු දක්වමින් රාමනායක පියතුමා තව දුරටත් කියා සිටියේ එසේ ලබා දුන්නේයැයි කියන මුදලෙන් කිසිදු දායකත්වයක් කතෝලික ජනතාවට නොලැබුණු බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අවශ්‍ය හැම කෙනෙකුටම පැවසුවද අද වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විභාගයක් සිදු වී නොමැති බවත් රාමනායක පියතුමා පැවසුවේය.
