වෙඩිතලතිව් රක්ෂිතය අනතුරේ

by admindasun
0 comment 58 views

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම විශේෂ පාරිසරික පද්ධතියක් වන වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය ඉස්සන් වගා කරන සමාගම් සඳහා ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

මෙම රක්ෂිතය තුළ ඉස්සන් වගාව සඳහා සමාගම්වලට ඉඩ දීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් මේ වන විටත් අනුමත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේය.

වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය උතුරු පළාතේ උපායමාර්ගික පාරිසරික ඇගයීම් (Strategic Environment Assessment) ව්‍යාපෘතිය මගින්  යෝජනා කර, එම ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වයේ සුවිශේෂී  බව සැලකිල්ලට ගෙන නීත්‍යානුකූලව ගැසට් කර පාර්ලිමේන්තුවේද නිසි පරිදි අනුමත  කරන ලද ස්වභාවික පාරිසරික රක්ෂිතයකි.

අපේ රට පුරාම ඇති මෙවන් විශේෂතා සහිත පාරිසරික කලාප, ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කළ යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියක් මත මෙම වෙඩිතලතිව් පාරිසරික කලාපයද 2019 දී ගැසට් පත්‍රයකින් ස්ථාපිත කර තිබේ.

තව දුරටත් අදහස් දක්වමින් රත්නායක මහතා පැවසුවේ 2019 දී  පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමටද කටයුතු කෙරෙමින් ඇති බවයි.

එසේ වුවද මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය පිළිබඳ පරිසරවේදීන් පමණක් නොව අදාළ විෂයභාර දෙපාර්තමේන්තුව  ඇතුළු රාජ්‍ය පාරිසරික ආයතනවල පරිසර නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ මගින්ද යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතිය මගින් සුවිශාල පාරිසරික හානියක් සිදුවන බව හඳුනාගෙන ඇති බවත් රත්නායක මහතා කියා සිටියේය.

එම නිසා  පාරිසරික අධ්‍යයන වාර්තාවෙන් ද ප්‍රතික්ෂේප වී ඇති වෙඩිතලතිව් රක්ෂිතයේ ඉස්සන් වගාව හෝ එවන් ව්‍යාපෘති සිදු කිරීම වහාම නතර කරන ලෙසත්,   ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කර ඇති  වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතයේ  ගැසට් පත්‍රය අවලංගු නොකරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් රත්නායක මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment