පසුගියදා රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති සමය තුළ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති නියෝගය හේතුවෙන් මෙම බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කිරීම සඳහා ද මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න සිටින නමුත්, විවිධ හේතු මත ගුරුවරුන් පනස් දහසක් දෛනිකව නිවාඩු ලබන බව ද, පුහුණු කටයුතු හෝ වෙනත් සේවා අවශ්‍යතා මත ගුරුවරුන් 16,000ක් පමණ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිරව කටයුතු කරන බව ද, ඒ අනුව, ගුරුවරුන් හැට හය දහසක් ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුවත් කරන ලද බවත් ඒ අනුව, උපාධිධාරී අභ්‍යාසලාභීන් 15,000ක් පාසල් පද්ධතියට එක්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලද බවද පැවසීය.
මීට පෙර අවස්ථාවල දී උපාධිධාරී අභ්‍යාසලාභීන් රජයේ සේවයට ඇතුළත් කර ගන්නා විට වයස් සීමාව, උපාධිය අභ්‍යන්තර ද බාහිර ද යන්න, උපාධියේ ස්වභාවය, උපාධි විෂය, මෙන්ම උපාධි ලාභියාගේ දේශපාලන පක්ෂය පවා නිර්ණායක බවට පත්ව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රාජ්‍ය නායකත්වය තුළ උපාධිධාරියාගේ උගත්කම පමණක් ම පත්වීම් ලබා දීමට සුදුසුකමක් ලෙස සලකන ලද බව ද අවධාරණය කළේය.
එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු වැනි තනතුරුවල සේවය කරන උපාධිධාරීන් සිටින බව ද උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ දී එවැන්නන්ට ද සාධාරණය ඉටු කිරීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
