එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ 101 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී සිය ගෝලීය සාමාජිකයින්ගෙන් 88% කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තකයකුවූ මෙලනි ජැනින් කනක මහත්මිය, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants – CIMA) අභිනව ගෝලීය උප සභාපතිනිය (Global Vice President) ලෙස තේරී පත්වූවාය.
CIMAහි වසර 100 ක ඉතිහාසයේ, මෙම කීර්තිමත් ධුරයට එක්සත් රාජධානියෙන් පිටතින් පත් ව සිටින පළමු කාන්තාව බවට වීමේ භාග්‍යය කනක මහත්මිය ලද අතර, මෙම ගෝලීය තනතුර තුලින් රටවල් 179 ක 650,000 කට අධික සාමාජිකයින් හා ශිෂ්‍යයින්ට ඇය නායකත්වය සපයනු ඇත.
2000 දී CIMA සාමාජිකත්වයට ඇතුළත් වූ ඇය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ දකුණු ආසියාව පුරා සාංගමික මූල්‍යය සහ සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 30 ක පළපුරුද්දක් ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ බෙල්සවූත් සහ ශ්‍රී ලංකාවේ ඩීඑෆ්සීසී බැංකුව, හේලීස් සමූහය සහ මාස් හෝල්ඩින්ග්ස්හි සේවය කර ඇත.
ඇමරිකානු සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (Association of International Certified Professional Accountants) අධ්‍යක්ෂවරියක් ද වන කනක මහත්මි්ය, මේ වන විට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ මූල්‍ය හා පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නිය.
ෆුල්බ්‍රයිට් ශිෂ්‍යධරයකු ද වන ඇය ඇමරිකා එක්සත් ජනපදයේ එමරි විශ්ව විද්‍යයාලයේ ගොයිසුටා ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර මූල්‍ය හා සාංගමික උපාය මාර්ග (Corporate Finance and Development Banking) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යයාලයෙන් පළමු පන්තියේ ව්‍යාපාරවේදී (විශේෂ) උපාධියක් ලැබූ ඇය, කොළඹ බිෂොප් විදය්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් හා ශ්‍රී ලංකාවේ ජාතික සංචිතයේ හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක්ද වේ.
