බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවලට වර්ෂාව සමයේදී ඇති අවදානම පිළිබදව තක්සේරුවක් සිදු කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවලට වර්ෂා මාන සවි කිරීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ මහතා පැවසුවේය.
වර්ෂා කාලයේ දී ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ගයේ අතැම් ස්ථාන අවදානම් තත්ත්වයට පත්විය හැකි බැවින් බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම වර්ෂා මාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ හදුන්පතිරාජ මහතාට අනුව දුම්රිය ස්ථාන ඇතුළු අවට ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ප්‍රමාණය මැන බැලීම තුළින් අවට ප්‍රදේශවල ඇතිවිය හැකි නාය යෑම් අවදානම් තත්වය පිළිබඳව පුර්ව නිගමනයකට එළඹීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ. ඒසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහයෝගය ලබාගනිමින් දුම්රිය මාර්ගය ආශ්‍රිතව නාය යාම් අවදානම් තක්සේරු කිරීම සිදු කරන ලද අතර අවදානම් කලාප සිතියම් ගතකර අදාල වාර්තා මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
මෙම වැඩ සටහන යටතේ බදුල්ල, හැලිඇළ, දෙමෝදර, ඇල්ල, හිල්ඔය, කිණිගම, බණ්ඩාරවෙල, දියතලාව දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලයට වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් පිළිබද දැනුවත් කිරීම සහ ක්ෂේත්‍ර පුහුණුව ලබා දී ඇති අතර ඒ තුළින් ඉදිරි වර්ෂා කාල තුළ දී දුම්රිය මාර්ගයට ඇතිවිය හැකි නායයාම් තර්ජන පිලිබද පුර්ව අවබෝධයක් ලබා ගත හැකි වනු ඇතිි බවත් ඔහු කියා සිටියේය.
