මෙරට මැතිවරණය පැවැත්වීමේදී ජනතාව, මැතිවරණ රාජකාරීවල යෙදෙන සේවකයන් ආරක්ෂා වීමට මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සෑම පක්ෂයකටම එකසේ සිදු කිරීමට හැකි සෞඛ්‍ය වාතාවරණයක් මෙරට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මේ වන තෙක් සෞඛ්‍ය බලධාරීන්ද රට යථා තත්ත්වයට පත්වූ බවක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
‘සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉදිරිපත් වන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම කිවුවා. ඒ සති 09ත් 11ත් අතර කාලයකින් පසුවයි. ඒ සඳහා රට සාමාන්‍ය තත්වයට පත් විය යුතුයි. හෙට සහ අනිද්දා දවස් 02ත් ඇඳිරි නීතිය රට පුරා පනවා තිබෙනවා. හෙට දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා. තවමත් රාත්‍රී 10 සිට අලුයම 04 තෙක් දිනපතා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මෙවැනි තත්වයකදී රට සාමාන්‍ය තත්වයට පත්වුණායැයි කාටවත් කියන්න බැහැ. තවමත් රටේ සාමාන්‍ය තත්වය නිර්මාණය වී නැහැ,’ යැයි විජිත හේරත් මහතා පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ආරම්භයේ සිට මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කළ අතර පවතින තත්වය යටතේ එය පැවැත්විය යුතු වන්නේ මූලික කරුණු තුනක් වෙත අවධානය යොමු කරමින් බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.
ඒ අනුව ජනතාවගේ ආරක්ෂාවට පළමු තැන ලබාදිය යුතු අතර මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ වන රජයේ නිළධාරීන්ගේ ආරක්ෂාවද තහවුරු විය යුතු බව ඔහු කියා සිටියේය.
තවද දේශපාලන පක්ෂවලට නිදහසේ තමන්ගේ ප්‍රතිපත්ති ජනතාව අතර ගෙන යා හැකි විය යුතුයි. රැස්වීම් පැවැත්වීමට, පත්‍රිකා බෙදීමට, ජනතාව මුණගැසීමට, මාධ්‍ය මගින් ප්‍රතිපත්ති අදහස් ඉදිරිපත් කිරීමට සාධාරණ ඉඩක් හා සමාන අවස්ථා ලැබිය යුතු බවත් හේරත් මහතා පැවසුවේය.
