මෙම වසර සඳහා නියමිත දෙවන චන්ද්‍රග්‍රහණය ජූනි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජූනි 5 රාත්‍රී 11.15ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට ) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ.
ග්‍රහණය අවසන් වනුයේ ජුනි 6 දින අළුයම 2.34ටය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 6 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 54ටය.
ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙළ ගැසී ඇති විටදීය.
ඡායා චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණ ඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩ අඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපටපූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ.
එනමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය.
ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවල් වැඩි කොටසකට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වේ.
මෙම වසරේ ග්‍රහණ හයක් ඇත. ඒ ඡායා චන්ද්‍රග්‍රහණ 4ක්, වළයාකාර සූර්යග්‍රහණ 01ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 01ක් වශයෙනි.
ග්‍රහණ 6න්, 2020 ජුනි 21 වන දින ඇති වන වළයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකාවාසීන්හට පැහැදිලව දැක බලා ගත හැකි අතර එය අපට අර්ධ සුර්යග්‍රහණයක් ලෙස දිස්වනුයේ ජුනි 21 පෙරවරු 10.29 සිට ප.ව 1.19 දක්වා බව මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.
