සක්‍රීය පොකුරු කළමනාකරණය නොකළොත් දෙවන රැල්ලක්

by admindasun
0 comment 91 views

මේ වන විට රටේ සක්‍රීය කොවිඩ් පොකුරු 02ක් පවතින අතර එම පොකුරු දෙක හරිහැටි කළමනාකරණය නොකළහොත් කොවිඩ් දෙවන රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙසේ පවතින පොකුරු දෙක වන්නේ නාවික හමුදා පොකුර සහ විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ආශ්‍රිතව වාර්තා වන පොකුර වන බවයි.

මෙම සක්‍රිය පොකුරුවලින් සමාජය තුළට රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සදහා ඉතා පැහැදිලිව හා කාර්යක්ෂම ක්‍රමවේදයක් අවශ්‍ය වන බවත් වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අලුත්ගේට අනුව විදේශ රටවල සිට මෙරටට ගෙන්වා ගන්නන් ගුවන් තොටුපළ තුළදීම PCR පරික්ෂාවට ලක් කර එහි ප්‍රතිඵල අනුව නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ රෝහලට යොමු කිරීමේ ක්‍රමවේදයක් හැකි ඉක්මනින් ස්ථාපනය කළ යුතුව ඇත. එසේ පැමිණීමේදී ඔවුන්ගෙන් රෝගය ස්පර්ශ විය හැකි ගුවන් යානා කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පොලිස් හා ත්‍රිවිධ හමුදාව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන හා නිරෝධායන මධ්‍යස්ථානවල සේවය සපයන පිරිස්, හෝටල් කාර්ය මණ්ඩල සහ එම ස්ථාන වෙත ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වන පිරිස් නිරන්තර පරීක්ෂණයට ලක් විය යුතුය.

එසේම වෛද්‍ය අලුත්ගේ පැවසුවේ මෙසේ විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනයෙන් පසු මුදා හල විට ඔවුන්ගේ ගමනාන්තයන් දැඩි සුපරික්ෂාවට හා කළමනාකරණයට යටත් විය යුතු බවයි.

තවද රට විවෘත කළත් මහජනතාව ක්‍රියා කළ යුතුතේ සෞඛ්‍ය ආරක්ෂණ නීති රීති රාශියකට යටත්ව බව සියලු දෙනා තේරුම් ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment