විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහය වීම සදහා කටුනායක ගුවන් තොටුපළේ සේවයට යොදවා තිබුණු යුද හමුදා සාමාජිකයෙකුට කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඊයේ දිනයේදී ලැබුණු වාර්තාවලට අනුව මෙම යුද හමුදා සාමාජිකයාට කොවිඩ් වැළදී ඇති බටට තහවුරු වුවත් ඊයේ දිනයේදී වාර්තා වුණු රෝගීන් සියල්ල කුවේට් සිට පැමිණි අය බවට නිවේදනය කෙරුණු අතර මූලික ලේඛණගත කිරීම්වලින් පසුව කරන ලද තහවුරු කිරීම් අවස්ථාවලදී එම රෝගීන්ගෙන් එක් රෝගියෙකු යුද හමුදා සාමාජිකයෙකු ලෙස හදුනාගෙන ඇති බව වෛද්‍ය ජාසිංහ තව දුරටත් පැවසුවේය.
මෙම යුද හමුදා සාමාජිකයා විශේෂයෙන්ම කුවේට් සිට පැමිණි කණ්ඩායමට ඉතා සමීපයෙන් සහය දැක්වූ අයෙකු බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ජාසිංහ කියා සිටියේ එම යුද හමුදා සාමාජිකයා මේ වන විට රෝහලගතව ප්‍රතිකාර ලබන බවයි.
මේ සම්බන්ධයෙන් විමසූ විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව එම හමුදා සාමාජිකයා කොවිඩ් – 19 සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු වෛද්‍යවරු විසින් මේ වන විට දැනුම් දී නොමැති බවත් ඔහු කියා සිටියේය.
