රටට ආ සීෂේල්ස් ජාතිකයන් කවුද? ජවිපෙ අසයි

by admindasun
0 comment 55 views

පසුගියදා මෙරටට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි සීෂේල්ස් ජාතිකයින් පිළිබදව රටට හෙළි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද දින රජයට බල කර සිටියේය.

සීෂෙල්සි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ද කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු නොකර සීෂෙල්ස් ජාතිකයින් පිරිසකට පමණක් මෙරටට පැමිණීමට අවසර ලබා දීමේ ඇති විශේෂත්වය රටට හෙළි කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරට දේශපාලඥයන්ගේ කළු සල්ලි ආයෝජනය කරන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ බවට චෝදනවා එල්ල වී තිබෙන බැවින් මෙසේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ගෙන්වා ගෙන ඇත්තේ එම කාර්යය සදහා උදවු කරන පිරිසක් බවට ප්‍රබල සැකයක් මතුවන බවයි.

කෙ‌සේ වෙතත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද මෙරටට ගෙන්වා ගැනීමට මෙරට රජය කටයුතු කළ බවත් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විමසූ විට ජාත්‍යන්තර සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ මෙම කණ්ඩායමට රාජ්‍ය තාන්ත්‍රිකව කළ ඉල්ලීමකට අනුව මෙරටට පැමිණීමට අවසර ලබා දුන් බවයි.

සාමාජිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස හෘද රෝග, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අය වන අතර ශ්‍රී ලංකාවෙන් දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අය බවත් ඔහු කියා සිටියේය. මෙම පිරිසි පසුගිය සෙනසුරාදා (23) ලංකාවට පැමිණියේය.

එසේ පැමිණීමේදී එම පිරිස ඔවුන්ගේ ගුවන් යානයකින් අදාළ මුදල් ගෙවා පැමිණිය යුතු අතර මෙරටට පැමිණීමට පෙර එරටදී පීසීආර් පරීක්ෂණ සිදු කර ඒවායින් කොවිඩ් – 19 ආසාධනය වී නොමැති බවට තහවුරු විය යුතු බවටත් මෙරට රජය විසින් කොන්දේසි පැනවූ බවත් අද්මිරාල් කොළඹගේ පැවසුවේය.

එසේම මෙරට රජය විසින් පනවන ලද තවත් කොන්දේසියක් වූයේ මෙරටට පැමිණි පසු මෙරට හෝටලයක මුදල් ගෙවා සති දෙකක කාලයක් පමණ නිරෝධායනය විය යුතු බවයි. ඉන් අනතුරුව මෙරට ප්‍රතිකාර ලබා ගන්නා පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන මෙරටින් පිටව යායුුුුතු බවටත් කොන්දේසි පනවා ඇති බව අද්මිරාල් කොළඹගේ කියා සිටියේය.

ඒ අනුව මෙම පිරිස මේ වන විට වාද්දුව ප්‍රදේශයේ තරු 07 හෝටලයක නිරෝධායනයට ලක් කර ඇති බවට ආරංචි මාර්ග පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment