කොවිඩ් මර්දනය කිරීමට ඒ පිළිබද දැනුමක් නැති නාවික හමුදාව වැනි පිරිසක් යෙදවීම හේතුවෙන් මෙම වසංගත තත්ත්වය ඔවුන් අතර පැතිර යාම සිදුවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ නාවික හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදාව ලෝකයේ කිසිදු රටක කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ කටයුතුවලට සහභාගී කර නොගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ එවැනි කටයුතු සදහා අවබෝධයක් නැති පිරිසක් යොදා ගැනීම සම්බන්ධයෙන් රජය වගකීම බාරගත යුතු බවත් ඔහු කියා සිටියේය.
තවදුරටත් කතා කළ ඔහු කියා සිටියේ නාවික හමුදාවේ අය කොවිඩ් මර්දන කටයුතුවලට යොදා ගත්තද ඔවුන්ට නිසියාකාර පුහුණුවක් හෝ පෞද්ගලික ආරක්ෂිත උපකරණ කිසිවක් ලබා දී නොමැති බවත් ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් රජය විසින් මේ සදහා වෛද්‍යවරු යොදා ගත යුතුව තිබුණු අතර මෙම තීරණ පිළිබදව වෛද්‍යවරු දැනුවත් වී නොමැති බවත් කිරිඇල්ල මහතා පැවසුවේය.
මේ වන විට පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති බැවින් මේ පිළිබදව විමසීමට වගකිව යුතු ආයතනයක් නොමැති වී ඇති බවත් ඔහු කියා සිටියේය.
