නාවික හමුදා සාමාජිකයන් අතරින් පළමු කොවිඩ් – 19 රෝගීයා වාර්තා වී මේ වන විට දින 24ක් ගතවුවද දිනපතා නාවික හමුදා සාමාජිකයන් අතරින් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
ඔහු කියා සිටියේ මේ වන විටත් වසංගත රෝග විශේෂඥයෙකු වැලිසර හමුදා කදවුරේ තත්ත්වය ගැන නිරීක්ෂණය කිරීමට වෙනමම අනුයුක්ත කර ඇති බවයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නාවික හමුදා සාමජිකයන් තුළට ඇතුළු වී ඇති වෛරසයේ බීජෞෂණ සමය අනුව රෝගීන් වාර්තා වීම සිදු වන අතර මේ වන විටත් ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව සිටීම නිසා සමාජය තුළ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බවයි.
වෛද්‍ය ජාසිංහට අනුව නාවික හමුදාවෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්කර සිටින අයගෙන් හැරුණු කොට පසුගිය දින 16ක කාලය තුළ බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවේ. කෙසේ වෙතත් මෙම වෛරසයේ අවදානම තවමත් ශ්‍රී ලංකාව තුළ පවතින අතර එනිසා දිගින් දිගටම රෝගය වැළැක්වීමේ උපාය මාර්ග පිළිපැදිය යුතු බවත් ඔහු කියා සිටියේය.
එසේම තව දුරටත් රෝග වෛරසය මෙරටට පැමිණීම වළක්වාලීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කර ඇති බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.
