ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු යොදා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.
රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඒ අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලබාදුන් උපදෙස් වලට අනුවකූලව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටියගේ මඟපෙන්වීමෙන් යුත් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබාදී ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසුනිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබූ බැව්ද සිහිපත් කළ යුතු බව බ්‍රිගේඩියර් වික්‍රමසිංහ පැවසුවේය.
