ලෝක වෙළෙද පොළේ තෙල් මිල සැලකිය යුතු අන්දමින් පහත වැටී ඇති හෙයින් එම මිලට අනුව මෙරට පෙට්‍රල් ලීටරයක් රු. 55ටත්, ඩීසල් ලීටරයක් රුු. 42ටත්, භූමිතෙල් ලීටරයක් රු. 28ටත් ලබාදිය හැකි බවට ජනතා විමුක්ති පෙරමුණ අද දින චෝදනා කළේය.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ ලෝක වෙළෙද පොළේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුලු ප්‍රබල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන ලෙස පැවැති ආණ්ඩුවට බලකළ අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාබයක් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගත හැකි බවට ප්‍රකාශ කළ බවත් හේරත් මහතා පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතාට අනුව රටේ ජනාධිපතිවරයා කොරෝනා වසංගත තත්වය පිළිබඳව ජාතිය අමතාා පැවසුවේ සැමන් ටින් එක රු. 100ටත් පරිප්පු කිලෝ එක රු. 65ටත් දෙන බව පැවසුවේය. තෙල් මිලේ වාසිය සැමන්, පරිප්පුවලින් දෙන බවත් පැවසුවේය. සාමාන්‍ය වෙළඳපොළේ ඒ මිලට සැමන්, පරිප්පු නොතිබුනු අතර සතොස තිබුණු ටිකත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තොග පිටින් අරගෙන යටිමඩි ගැසූ බවයි.
“අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළෙද පොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්. ඒ අනුව අද රු.104 තිබෙන ඩීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්. භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්,” යැයි හේරත් මහතා පැවසුවේය.
