පසුගියදා හමුවූ රෝගීන්ගෙන් සමාජයට බලපෑම අවමයි

by admindasun
0 comment 28 views

පසුගිය දින දෙක තුළම තහවුරු කෙරුණු කොවිඩ් – 19 රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙකුත් අය නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවූ බැවින් ඔවුන්ගෙන් සමාජය තුළ රෝගය ව්‍යාප්ත වීමක් සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 889ක් ලෙස වාර්තා වුවත් මේ වන විට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 514 දෙනෙක් පමණක් බවත් 366 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

ඊයේ දින තහවුරු කරගත් රෝගීන් 20 දෙනාගෙන් 17 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන අතර දෙදෙනෙක් මේ වන විට නිරෝධායනය වෙමින් සිටි ඔවුන්ගේ ඥාතීන් වේ. එසේම තවත් එක් අයෙක් ඩුබායිහි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන බව කොචිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඊයේ දිනය වන විට කොවිඩ් – 19 ආසාධිත නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 428ක් වු අතර ඉන් 41 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා PCR පරීක්ෂණද සිදු කිරීමෙන් අනතුරුව රෝහල්වලින් පිටත් කළ බවයි.

එසේම ඊයේ දිනයේදී 239 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත් කර යැවූ අතර මේ වන විට පුද්ගලයින් 7515 දෙනෙක් එසේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත් කර යවා ඇති බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

ලුතිනන් ජනරාල් සිල්වා තව දුරටත් පැවසුවේ විදේශගතව සිට පැමිණි අයද සමග රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන 37ක මේ වන විට නිරෝධායනය වෙමින් පවතින සංඛ්‍යාව 3701 දෙනෙක් පමණ වන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment