හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ටද නිළ වාහන සහ නිළ නිවාස ලබා දීම මැතිවරණ නීතිය උල්ල්ංඝණය කිරීමක් බැවින් ඒ සදහා වහාම අදාළ පියවර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුන අද දින මැතිවරණ කොමිසමට පැමිණිලි කර සිටියේය.
තම පැමිණිල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු වෙත භාර දීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට එම පහසුකම් ලබා දීම සදහා පසුගියදා කැබිනට් අනුමැතියද ලැබී ඇති අතර එම වරප්‍රසාදවලට සාමාන්‍යයෙන් ගෙවන ලද ඉන්ධන දීමනාවද ඇතුළත් බවයි.
එසේම මෙම නිළ වාහනය සදහා මසකට රුපියල් 100,000ක ගාස්තුවක් අය කෙරෙන බව පැවසුවද එවැනි වාහනයක් සදහා වෙළෙද පොළේ මාසික කුලිිිය රුපියල් ලක්ෂ 03ක් පමණ වන බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 02 ඉක්මවන ඉන්ධන දීමනාවද ඔවුන්ට ලබා දීමට නියමිත අතර සෞඛ්‍ය සේවකයින් ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවකයින් කොවිඩ් – 19 වසංගතය මැඩලීම සදහා මෙවැනි කැප කිරීමක් කරන සමයක රටේ පවතින නීතියද උල්ලංඝණය කරමින් හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට මෙවැනි වරප්‍රසාද පිරිනැමීම ඔවුන්ට කරන අපහාසයක් බවත් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
තව දුරටත් කතා කළ හදුන්නෙත්ති මහතා පැවසුවේ හෙට හෝ අනිද්දා මැතිවරණ කොමිසම රැස්වන අවස්ථාවේදී තම පැමිණිල්ල පිළිබදව සලකා බැලෙන බව මැතිවරණ කොමිසම පැවසූ බවයි.
