ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මෙම ලිපිය පෞද්ගලික ඉල්ලීමක් වන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය උපයෝගී කරගෙන එවැනි ලිපියක් යැවීමට ඔහුට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද යන්න හදුන්නෙත්ති මහතා ප්‍රශ්න කර සිටියේය.
එසේම එම ලිපිය සියලු රාජ්‍ය සේවය ආවරණය වන පරිදි ආයතන ප්‍රධානීන්නට යොමු කර ඇති පෞද්ගලකි ආයාචනයක් රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානීන්ට යොමු කරන්නේ කෙසේද යන්න ඔහු අසා සිටියි.
එසේම එහි පිටපත් නීතිපතිවරයාට සහ විගණකාධිපතිවරයා යොමු කර තිබීමෙන් එය පෞද්ගලික ඉල්ලීමක් නොවන අතර එම ලිපිය සදහා නීත්‍යානුකූල බවක් එමගින් ලබා දී ඇති බවත් හදුන්නෙත්ති මහතා චෝදනා කර සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එවැනි ක්‍රියාවලින් අදහස් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික ඉල්ලීමවලට රාජ්‍ය බලය පාචිච්චි කිරීමක් බවත් එය මුළුමනින්ම සදාචාර විරෝධී බවත්ය.
එසේම මෙම අවස්ථාවේ අසරණ වී සිටින රාජ්‍ය සේවකයාගෙන් එවැනි ඉල්ලීම් කිරීම දැඩි අසාධාරණයක් බවත් ඔහු පැවසුවේය.
තව දුරටත් ඔහු කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිළ වාහන සහ නිළ නිවාස ඔවුන්ට පෞද්ගලික පරිහරණයට ලබා දෙන ලෙස කැබිනට් පත්‍රිකා අනුමත කර ගන්නා අතරතුර කැපකිරීම් කරන ලෙස රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලා සිටීම අතිශයින්ම සාදාචාර විරෝධී බවයි.
මෙසේ කැබිනට් මණ්ඩලයේ වියදම් කපා හැරීමකින් තොරව මෙසේ රාජ්‍ය නිළධාරීන්ට කරන බලහත්කාරකම්වවලට මුළු සාමාජයම විරුද්ධ වන බවත් හදුන්නෙත්ති මහතා කියා සිටියේය.
