මෙරට ආර්ථික කටයුතු පවත්වා ගැනීම සදහා ඇදිරි නීතිය තබියදීම රට යථා තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කාර්යාල සහ වෙළෙද කටයුතු ආරම්භ කිරීමට රජය සැරසුණද තවමත් කොවිඩ් – 19 වසංගතය තත්ත්වය අතින් රට පසුවන්නේ අධික අවදානම් තත්ත්වයක බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
මේ සම්බන්ධයෙන් නම හෙළි නොකරමින් අදහස් දැක්වූ රටේ ප්‍රධානතම සෞඛ්‍ය ආයතනයක ප්‍රධානියෙක් පැවසුවේ රජය සැළසුම් කරන පරිදි රට යළි ආරම්භ කිරීමට නීති ලිහිල් කිරීම සදහා අවශ්‍ය පී සී ආර් පරීක්ෂණ ප්‍රමාණයවත් මේ වන විට සම්පූර්ණ කර නොමැති බවයි.
මිලියන 22ක් පමණ ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ මේ වන තෙක් සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 25,000ක් පමණ වන අතර රට යළි විවෘත කිරීමට කිසිසේත්ම එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ඔහු කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වන ඔහු කියා සිටියේ රට යළි විවෘත කිරීමට නම් අවම තරමින් පී සී ආර් පරීක්ෂණ ලක්ෂ 05ක්වත් සිදු කළ යුතු බවයි.
එනිසා ජනතාව නිවෙස්වවලින් එළියට පැමිණීමට තවමත් කල් වැඩි බවත් ඔහු කියා සිටියේය.
මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් 80%ක් පමණ සිටින අතර එය ඉතාමත්ම භයානක තත්ත්වයක් බවයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ එවැනි තත්ත්වයක් තුළ රට විවෘත කරන්නේනම් අනිවාර්යයෙන්ම එය සිදු විය යුත්තේ යළිත් කොවිඩ් – 19 රැල්ලක් පැමිණීම වළක්වා ගැනීමට අදාළ පරීක්ෂණ බහුලව සිදු කිරීම වැනි උපක්‍රම යෙදීමෙන් අනතුරුව බවත් එසේ නොමැතිනම් අතිශය අනතුරුදායක තත්ත්වයකට රට පත්වන බවත් ඔහු කියා සිටියේය.
